තම ශ්‍රී ලාංකික බිරිඳව මෝටර් රථයකට යට කර ඝාතනය කිරීමට තැත් කළ බව කියන ඉතාලි ජාතික සැමියෙකු සහ ඔහුගේ රියැදුරෙකු දික්වැල්ල පොලිසිය විසින් පෙරේදා දිනයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ශ්‍රී ලාංකික කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, විමර්ශන අතරතුර පරීක්ෂාවට ලක් කළ සී.සී.ටී.වී. දර්ශනවල ඇයව මෝටර් රථයකින් යට කිරීමට උත්සාහ දරන ආකාරය සටහන්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
මෙම යුවළ දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අතර, එහි හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලාංකික බිරිඳ විසිනි. ඉතාලි ජාතික සැමියා මෙරට සංචාරය සඳහා පැමිණි අවස්ථාවකදී මෙම කාන්තාව හඳුනාගෙන ඇති අතර, එම හඳුනාගැනීම ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව ඔවුන් විවාහ වී තිබේ. කෙසේ වෙතත්, මෙම අඹුසැමි යුවළ අතර නිරන්තරයෙන් ආරවුල් පැවති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
බැණ තර්ජනය කර බිය ගැන්වීම සහ මෝටර් රථයකට යට කර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් ඉතාලි ජාතිකයා සහ ඔහුගේ රියැදුරා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ඔවුන් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය සහ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් පරිදි, දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
✅✅✅✅✅✅✅
