ත්‍රීකුණාමලය, කින්නියා, කුරුංජාන්කේණි ප්‍රදේශයේ ඉඩම් අයිතියක් සම්බන්ධයෙන් කිරි ගොවීන් සහ වී ගොවීන් අතර කලක සිට පැවති ආරවුලක්, අතිශය කනගාටුදායක සහ අමානුෂික සිදුවීමකින් කෙළවර වී තිබේ.
මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස, කිරි ගොවීන්ට අයත් අහිංසක මී දෙනුන් විසි දෙදෙනෙකුට (22) තියුණු ආයුධවලින් අමානුෂික ලෙස කපා කොටා සහ පහර දී බරපතල තුවාල සිදු කර ඇති බවට කින්නියා පොලීසිය පවසයි.
මෙම සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් මී ගව පට්ටි හිමිකරුවන් තිදෙනෙකු විසින් ඊයේ (22) පස්වරුවේ කරන ලද පැමිණිලි මත පදනම්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගැටුමට මුල් වූ මෙම භූමිය, තෘණ වගාව සඳහා වෙන් කර තිබුණ ද, වී ගොවීන් පිරිසක් එහි වී වගා කිරීමත් සමඟ පාර්ශ්ව දෙක අතර මෙම ආරවුල උත්සන්න වී ඇති බව පැමිණිලිවල සඳහන් වේ.
තම ඉඩම් ආරවුලේ පලිය, කතා කර ගත නොහැකි අහිංසක සතුන්ගෙන් ගෙන ඇති බවට මී ගව හිමිකරුවෝ චෝදනා කරති.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ කින්නියා, ආලින් නගර්හි පදිංචි අහමදු ලෙබ්බේ හමිදු (59) මහතාට අයත් මී දෙනුන් පස් දෙනෙකුටත් මීරාසා නසාර් (39) මහතාගේ මී දෙනුන් දෙදෙනෙකුටත් කපා කොටා තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි.
මේ අතර, සදකතුල්ලා මොහොමඩ් අලි (48) නැමැති අයගේ මී ගවයින් 15 දෙනෙකුට මෙසේ තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර ඇති බවද පොලීසිය පවසයි.
පැමිණිලිකරුවන් විසින් මෙම අපරාධය සිදු කරන්නට ඇතැයි සැක කෙරෙන වී ගොවීන් කිහිප දෙනෙකුගේ නම් ද පොලීසියට ලබා දී ඇති අතර, ඒ ඔස්සේ කින්නියා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
✅✅✅✅✅
