ගිණුමේ ඇති කෝටි 33 දෙවියන්ගේ පඬුරු – ලොකු පැටීගේ කපුවා අධිකරණයේදී කියයි.!


 මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීම ඇතුළු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ලොකු පැටී’ සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන දිනේෂ් කුමාර නමැති දේවාල කපුවෙකු, ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවූ අතර, බන්ධනාගාරගතව සිටින ‘ලොකු පැටී’ නැමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වන නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, මෙම සැකකරුවන්ට එරෙහිව විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(අ) වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය. ‘ලොකු පැටී’ විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල්, සැකකාර දේවාල කපුවාගේ බැංකු ගිණුමට තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිවී ඇතැයි ඔවුහු පැවසූහ.


මත්ද්‍රව්‍ය චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නමැති කාන්තාවකගෙන් ලබාගත් ප්‍රකාශයකට අනුව, ඇය ‘ලොකු පැටී’ගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කර, ඉන් උපයන මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර ඇති බවට පිළිගෙන ඇත. ඇය විසින් පමණක් රුපියල් ලක්ෂ 70ක මුදලක් මෙම ගිණුමට තැන්පත් කර ඇති බවත්, මෙලෙස වරින් වර විශාල මුදල් ප්‍රමාණයක් අදාළ ගිණුමට බැරවී ඇති ආකාරය නිරීක්ෂණය වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.


මෙම සියලු මුදල් බැරවීම් සැකකාර කපුවාගේ පූර්ණ දැනුවත්භාවය මත සිදුවී ඇති බවත්, මේ වන විට අදාළ ගිණුමට රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවත්, ඉන් කෝටි 32ක්ම චෙක්පත් මගින් සැකකාර කපුවා විසින් ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙම මුදල් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමටම යොදවා ඇත්දැයි සොයා බැලීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ඔවුහු පැවසූහ.


මෙම විමර්ශන අතරතුර තවත් බැංකු ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත්, ඒ හරහා රුපියල් කෝටි 1000කට අධික මුදලක් සංසරණය වී ඇති බවට කරුණු හෙළිවී ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන්, ඒ සම්බන්ධයෙන්ද පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කියා සිටියේය. විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


කෙසේ වෙතත්, ‘ලොකු පැටී’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තර්ක කළේ, මෙම මුදල් හුවමාරු වූ බව කියන කාලසීමාවේදී බෙලරුස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ තම සේවාදායකයා මෙරට නොසිටි බවත්, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඇප ලබාදෙන ලෙසත්ය. සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද කියා සිටියේ, තම සේවාදායකයාගේ ගිණුමට බැරවී ඇත්තේ බැතිමතුන් දේවාලයට ලබාදුන් පරිත්‍යාග මිස මත්ද්‍රව්‍ය මුදල් නොවන බවයි.


දෙපාර්ශවයේම කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත නියෝගයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, එය ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බවත් දන්වා සිටියේය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post