පිරිමි අධ්‍යාපනයේ සැඟවුණු අර්බුදයක් ගැන අගමැති හරිනිගෙන් හෙළිදරව්වක්.!


 අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පසුව, ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් වැඩි වශයෙන් උසස් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ පැහැදිලි ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සම්මේලනයේ 75 වන වාර්ෂික සමුළුවට පෙරේදා (20) දින ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම තත්ත්වය හේතුවෙන් තරුණ පිරිමි දරුවන්ට උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සීමා වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට දිරිගැන්වීම සහ අවශ්‍ය සහාය ලබාදීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළාය.

අභාවප්‍රාප්ත සිවිල් සේවක සහ සෙනෙට් සභික ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් මහතා විසින් ආරම්භ කරන ලද YMMA සංගමය, තරුණයින්ගේ සහ ප්‍රජා සහභාගීත්වයේ ශක්තියෙන් සමාජයට අර්ථවත් වෙනසක් කළ හැකි බවට වූ දැඩි විශ්වාසය මත ගොඩනැගුණු සංවිධානයකි. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර, පිළිගත් පුණ්‍යායතනයක් ලෙස, YMMA සංගමය දශක ගණනාවක් පුරා මෙරට සමාජ සුබසාධනයේ සහ ප්‍රජා සංවර්ධනයේ ප්‍රමුඛ කුලුනක් බවට පත්ව ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “අධ්‍යාපනය, තරුණ සංවර්ධනය, ආපදා සහන සහ කාන්තා සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම සංගමය දහස් ගණනකගේ ජීවිතවලට ආලෝකයක් වී තිබෙනවා. විශේෂයෙන්ම, තරුණ කාන්තා මුස්ලිම් සංගමය හරහා ක්‍රියාත්මක ‘කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ වැනි වැඩසටහන් අතිශයින් ප්‍රශංසනීයයි. මෙවැනි මුලපිරීම් පුද්ගල සංවර්ධනයට පමණක් සීමා නොවී, සමස්ත සමාජයටම මහඟු වටිනාකමක් එක් කරනවා” යනුවෙන් පැවසුවාය.

“අද තරුණයින් මුහුණ දෙන විරැකියාව වැනි අභියෝග ජයගැනීමට රජය, සිවිල් සමාජය සහ YMMA වැනි සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අත්‍යවශ්‍යයි. වගකීම් සහගත සහ දක්ෂ තරුණ පරපුරක් බිහිකිරීමට YMMA සංගමය දක්වන කැපවීම මා බෙහෙවින් අගය කරනවා. සමානාත්මතාවය සහ අවබෝධය මත පදනම් වූ සමාජයක් අපට ගොඩනගා ගත හැක්කේ මෙවැනි සාමූහික ප්‍රයත්නයන් තුළින්” බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post