ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් (17) වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් කාරක සභාවට දැන්වූහ.
ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.
එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලන ලදී.
තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
ඒ අනුව ඉදිරියේදී විධිමත් බදු ගිවිසුම්වලට යටත්ව ඉඩම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා හිඟ බදු අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර, හිඟ බදු පිළිබඳ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
