පකිස්තානයේ ඉන්න බෑ අපිව ගෙන්න ගන්න - ක්‍රිකට් අවුල ජනපති දක්වා දුර යයි


 පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අඟහරුවාදා සිදුවූ මාරාන්තික බෝම්බ පිපිරීමක් හේතුවෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පාකිස්තාන ක්‍රිකට් සංචාරය දැඩි අවිනිශ්චිත භාවයකට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම සිදුවීමත් සමඟ සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ආරක්ෂාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත.


පිපිරීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරගය ඊයේ දිනයේ පැවැත්විණි. මෙම සිදුවීම වාර්තා වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් නියමිත පරිදි තරගය නිම කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත සිය මව්බිම බලා පිටත්ව යාමට අවශ්‍ය බව සංචාරයට එක්ව සිටින ජාතික කණ්ඩායමේ සාමාජිකයින් 08 දෙනෙකු අද උදෑසන කණ්ඩායම් කළමනාකාරීත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත දන්වා තිබේ. 
කෙසේ වෙතත්, ඇතැම් ක්‍රීඩකයින් ආරක්ෂක හේතූන් මත තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති පසුබිමක, ආදේශක කණ්ඩායමක් පාකිස්තානයට යවා තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුලදී සැලසුමක්ද සකස් කරන ලදි.

නමුත් මෙම කතාව ජනපති දක්වා පැතිර ගිය පසු ආරක්ෂාව පදනම් කරගෙන තීරණ වෙනස් කරන ලදි.
1996 ලෝක කුසලාන තරගාවලිය සමයේ ශ්‍රී ලංකාවේ පැවති බෝම්බ තර්ජන හමුවේ ඇතැම් රටවල් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී, පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ලබා දුන් සහයෝගය ජනාධිපතිවරයා සිහිපත් කර ඇත. ඊට කෘතගුණ දැක්වීමක් ලෙස, මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා ඇති අතර, එම කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව එරට රජය සමඟ එක්ව පූර්ණ වගකීමක් ගන්නා බවටද ප්‍රකාශ කර තිබේ.

මෙය සමඟ වහාම ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සහ එරට බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනිමින් සිටින බවට සහතිකයක් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවලින් අනතුරුව, සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරීත්වයට නියමිත පරිදි සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් උපදෙස් ලබා දී තිබේ. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා උපරිම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවට නැවත වරක් සහතික වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම නියෝගය නොසලකා හරිමින්, යම් ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු සංචාරය අතරමඟ නවතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත්, සංචාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වහාම ආදේශක ක්‍රීඩකයින් පාකිස්තානය බලා පිටත් කර හැරීමටද ක්‍රිකට් ආයතනය සූදානමින් සිටී. එසේ උපදෙස් වලට පටහැනිව ආපසු පැමිණෙන අය සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් පවත්වා සුදුසු තීරණයක් ගන්නා බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා ඇත.


විදේශීය ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කරන අතරතුර ත්‍රස්තවාදී සිදුවීම් වාර්තා වූ පෙර අවස්ථාද පවතී. මීට වසර තුනකට පෙර, විශ්වාසදායක බුද්ධි තොරතුරක් මත නවසීලන්ත කණ්ඩායම සිය පාකිස්තාන සංචාරය අතරමග අවලංගු කර ආපසු ගිය අතර, 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් වසර 10 කට ආසන්න කාලයක් විදෙස් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද, ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡා අවසන් වන තෙක් එම තරගය පැවැත්වීමද සැක සහිත තත්ත්වයක පවතී. 



gossiplanka image 2
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post