රටෙන් 1/3 නායා යෑමට නියමිතයි.. භයානක අනාවරණයක්.!


 ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 30ක්, නාය යෑමේ සෘජු අවදානම සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නවතම දත්ත උපුටා දක්වමින් අනතුරු අඟවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා විහිදී ඇති කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශ මෙම බරපතල අවදානමට ලක්ව ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ මෙම නාය යෑම් අවදානම් කලාපවලට අයත් වේ. 2023 වසර වන විට සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් මත පදනම්ව, මෙම අවදානම් කලාප පිළිබඳ සිතියම් මේ වන විට සකස් කර තිබේ.

නාය යෑම් අවදානම් කළමනාකරණයේදී, නාය යෑමක් ආරම්භ වීමේ ලක්ෂණ සහිත කලාප නොහොත් නාය මූලාරම්භක කලාප, පස් සහ ගල් සුන්බුන් ගලාගෙන යන මාර්ග, සහ එම සුන්බුන් තැන්පත් විය හැකි ප්‍රදේශ ඇතුළුව, නාය යෑමකින් බලපෑමට ලක්විය හැකි සියලුම කලාප නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර නීති විරෝධී ඉදිකිරීම්, අවිධිමත් ඉඩම් පරිහරණය, වන විනාශය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් තීව්‍ර වන අධික වර්ෂාපතනය මෙම නාය යෑම් සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

මෙම අනතුරුදායක තත්ත්වය මැනවින් හඳුනා ගනිමින්, “නාය යෑම් ආපදා මගින් බලපෑමට පත්විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීම” නමින් විශේෂ ව්‍යාපෘතියක් යෝජනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් අධි අවදානම් (රතු), මධ්‍යම අවදානම් (කහ) සහ අඩු අවදානම් (කොළ) ලෙස ප්‍රදේශ වර්ගීකරණය කර, ඒ ඒ කලාප සඳහා සුදුසු ඉඩම් පරිහරණ සැලසුම් සහ ඉදිකිරීම් මාර්ගෝපදේශ හඳුන්වා දීමයි.

දිවයින පුරා, විශේෂයෙන්ම නිරිතදිග මෝසම් සක්‍රීය වන කාලවලදී නිරන්තරයෙන් සිදුවන නාය යෑම් ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙමගින්, අවදානම් කලාපවල ජීවත්වන ජනතාව සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමට, ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහ අනාගත නාය යෑම් ආපදා අවම කර ගනිමින් මහජන ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට රජය අපේක්ෂා කරයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post