ක්‍රීඩා පුහුණුවීම් පවත්වන අවස්ථාවකදී දාසය හැවිරිදි පාසල් සිසුවියකගේ පපු ප්‍රදේශයෙන් අල්ලා තල්ලු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
මාරවිල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ක්‍රීඩා භාර ගුරුවරයා ලෙස කටයුතු කරන විසි හය හැවිරිදි මෙම සැකකරු පෙරේදා (28) රාත්‍රියේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ලද දැනුම් දීමක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අදාළ සිසුවියගෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. සිද්ධියට මුහුණ පෑ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවද පොලීසිය තවදුරටත් කියා සිටියේය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ, හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීමෙන්, මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දමයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
✅✅✅✅
