ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ පරිශ්‍ර කළමනාකරු ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකුට සහ එම අල්ලස ලබා ගැනීමට ආධාර අනුබල දුන් එම සංකීර්ණයේම ආරක්ෂක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16) නියෝග කළාය.
ඒ අනුව, නීති විරෝධී ලෙස මාළු කපන මේසයක් ලබා දී එය බාධාවකින් තොරව භාවිත කිරීමට ඉඩ දීම සඳහා අල්ලස් ලබාගත් පළමු විත්තිකරු වූ එච්. වී. ජවින්ත ගිහාන් නමැති පරිශ්‍ර කළමනාකරුට වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, ඔහු වෙනුවෙන් එම අල්ලස් මුදල භාරගත් දෙවැනි විත්තිකරු වූ ජෝන් බාලසිංහ ක්ලිටර්ස් නමැති ආරක්ෂක සාමාන්‍යාධිකාරීවරයාට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම විය.
සිරදඬුවම්වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාටම රුපියල් පන්දහස බැගින් වූ දඩ මුදලක්ද, පළමු විත්තිකරු ලබාගත් රුපියල් ලක්ෂයේ අල්ලස අතිරේක දඩයක් ලෙස ගෙවීමටද අධිකරණය නියම කළේය. එම අතිරේක දඩය නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. තවද, විත්තිකරුවන් දෙදෙනාම ඉදිරියේදී මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද අපේක්ෂකයෙකු වීම හෝ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා නුසුදුස්සන් බවට පත් කරමින් එම නියෝගය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
විනයගරුක සේවාවන් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් ලෙස වැරදි සිදුකිරීම වෙනුවට ඒවා පිටුදැකිය යුතු වුවත්, ඔවුන් විසින්ම මෙවැනි වැරදි සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඉතා බරපතළ කරුණක් බව විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නාය. විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ලිහිල් දඬුවම් ඉල්ලා සිටියේ, පළමු විත්තිකරු උතුරු නැගෙනහිර පවා සේවය කර සම්මාන දිනූ, පෙර වැරදි නොමැති 43 හැවිරිදි දෙදරු පියෙකු බවත්, දෙවන විත්තිකරු සේවයේදී වෙඩි වැදීමකින් තුවාල ලබා විශ්‍රාම ගිය, නිකැළැල් සේවයක් ඇති 53 හැවිරිදි දෙදරු පියෙකු බවත් පෙන්වා දෙමිනි.
කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය, රාජ්‍ය සේවකයන්ගේ වගකීම පෞද්ගලික ලාභ ලැබීම නොව මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් අවංකව සේවය කිරීම බව අවධාරණය කළාය. පරිශ්‍ර කළමනාකරු මෙම අල්ලස ඉල්ලා ඇත්තේ සිය දෙමව්පියන් දඹදිව වන්දනාවේ යැවීමට මුදල් අවශ්‍ය බව පවසමින් බවද ඇය අධිකරණයට දන්වා සිටියාය. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 18ක් යටතේ නඩු පවරා තිබුණද, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඔවුන් වරදකරුවන් වී ඇත්තේ චෝදනා දෙකකට පමණක් බව තීරණය කළ විනිසුරුවරිය, සෙසු සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කළාය.
