සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඉන්දියාවට පලා යාමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන ඔස්සේ මේ වන විට තවත් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
ඇයව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගිය බවට සැකකෙරෙන ‘පිරියන්කා’ නම් අධිබලැති බෝට්ටුව යාපනය, අරාළි තුඩුව මුහුදු තීරයේ තිබී සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වී තිබේ. මෙම බෝට්ටුව අශ්වබල 400ක ප්‍රබල එන්ජිමකින් සමන්විත එකක් බව විමර්ශන නිලධාරීන් පවසයි.
සැකකාරියට පලායාම සඳහා මඟ සැලසූ බව කියන අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තා නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් වූයේ කොළඹ-නුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදීය. පැය 72ක් පුරා රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම අපරාධ ජාලයේ තවත් බොහෝ රහස්‍ය තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකිව තිබේ.
ඔහුගේ කිලිනොච්චියේ පිහිටි නිවසේ සඟවා තිබූ පිස්තෝල ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගැනීමට හැකිවූයේ එම ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය. මෙම මෙහෙයුම කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකරන ලදී.
මෙම අපරාධ ජාලයේ පුරුක් එකිනෙක සම්බන්ධ කර බලනා විට, ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පැන යාම සඳහා බෝට්ටු පහසුකම් සලසා ඇත්තේ දැනට විදෙස්ගතව සිටින ‘මොහොමත් රිස්වි’ හෙවත් ‘සිලෝන් බායි’ නැමැත්තාගේ උපදෙස් මත බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එපමණක් නොව, ඇය ඉන්දියාව බලා පිටත්ව යන තෙක් කිලිනොච්චියේ උදේනගර් ප්‍රදේශයේ නිවසක නවාතැන් පහසුකම් සලසා දීමට පෙරුමාල් සත්තකේෂන් නමැත්තෙකු ද ක්‍රියාකර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් මෙම පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
✅✅✅✅✅✅
