දඹදිව වන්දනාව අතරතුර සැවැත් නුවර හෝටලයකදී ශ්‍රී ලාංකික මවක් ජීවිතක්ෂයට


 ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති හි පිහිටි හෝටලයක් තුළ 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයාගෙන ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 



මියගිය කාන්තාව, ප්‍රාන්තයේ ශ්‍රාවස්ති හි (පුරාණ සැවැත් නුවර) බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණි 46 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික සංචාරක කණ්ඩායමක සාමාජිකාවකි. ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයෙන් දීර්ඝ වේලාවක් පිටතට නොපැමිණීම නිසා සැක සිතූ සෙසු සංචාරකයින්, හෝටල් සේවකයින්ගේ ද සහාය ඇතිව කාමරයේ දොර විවෘත කර ඇත.


එහිදී අදාළ කාන්තාව මියගොස් සිටිනු දැකීමෙන් අනතුරුව, හෝටල් කාර්ය මණ්ඩලය විසින් කළමනාකරු දැනුවත් කර ඇති අතර, පසුව ඔහු විසින් පොලිසියට මේ පිළිබඳව දන්වා තිබේ.

තොරතුර ලැබීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බව ස්ථානාධිපති ලාල් සහේබ් සිං මහතා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
මෙසේ මියගොස් ඇති අයගේ සැමියා සුනිල් ශාන්ති ද සිල්වා මහතා ලෙස හඳුනාගෙන ඇති අතර ඇය 'කොඩිගොඩ' යන නම සඳහන් කාන්තාවක බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාව දක්වා තිබේ.
ශ්‍රාවස්ති පොලිස් අධිකාරී රාහුල් භාති මහතා ප්‍රකාශ කළේ, කාන්තාවගේ මරණය වාර්තා වූ වහාම දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මරණය ස්වභාවික හේතුවක් මත සිදුවී ඇති බවත්, කිසිදු අපරාධයක් සිදුවී ඇති බවට ලකුණු නොමැති බවත් ඔහු තහවුරු කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පැමිණිල්ලක් ගොනු කර නොමැති අතර, මියගිය කාන්තාව සමඟ පැමිණි සංචාරක කණ්ඩායම විසින් දේහය නැවත රැගෙන ගොස් ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post