හරිනි දළදා පෙරහැර නවතනවා යයි තිස්ස කිව්වේ හාමුදුරු නමක් නිසාලු


 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන්, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (28) කොළඹ දිසා අධිකරණය හමුවේ සිය පිළිතුරු ගොනු කරනු ලැබීය. කොළඹ අතිරේක දිසා විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා විසින් වගඋත්තරකරුට පිළිතුරු සැපයීම සඳහා ඊයේ දිනය අවසන් කැඳවීම ලෙස නියම කර තිබූ පසුබිමක මෙම පිළිතුරු ගොනු කිරීම සිදුවිය.



ජාතික ජන බලවේග රජයක් බලයට පත්වුවහොත් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර නැවැත්වීමට ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළ බවට තිස්ස අත්තනායක මහතා චෝදනා කර තිබුණි.


2024 අගෝස්තු 19 වන දින, ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මාවනැල්ලේ පැවති දේශපාලන රැස්වීමකදී වගඋත්තරකරු මෙම ප්‍රකාශය සිදු කර තිබීම පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරිය මෙම අපහාස නඩුව ගොනු කර ඇත.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් තිස්ස අත්තනායක මහතා සිය උත්තර පත්‍රය මගින් පෙන්වා දී ඇත්තේ, නුගපිටියේ ධම්මානන්ද නැමැති භික්ෂුවක් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන තමන් අදාළ අදහස් දැක්වූ බවත්, එම ප්‍රකාශය අවිශ්වාස කිරීමට තමාට කිසිදු හේතුවක් නොතිබූ බවත්ය.

තවදුරටත් වගඋත්තරකරු පෙන්වා දී ඇත්තේ, එම ප්‍රකාශය සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් පමණක් ඉලක්ක කරගත් දේශපාලන වේදිකාවකදී සිදු කළ එකක් බවයි. එසේම, පැමිණිලිකාර හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින්, සිය ප්‍රකාශය මගින් ඇයගේ කීර්තිනාමයට කිසිදු හානියක් සිදුවී නොමැති බවද තිස්ස අත්තනායක මහතාගේ පිළිතුරේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ලේඛනගත නීතිඥ ශානිකා සිල්වා මහත්මිය හරහා ගොනු කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ, මහනුවර ඇසළ පෙරහර නවත්වන බවට කළ මෙම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය සමාජගත කිරීම මගින්, බෞද්ධ පරිසරයක හැදී වැඩුණු සිය සේවාදායිකාවගේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවය.


දකුණු ප්‍රදේශයේ විහාරස්ථාන රැසකට ඉඩම් පරිත්‍යාග කළ පවුලකින් පැවත එන ඇය, කිසිදු ආගමකට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර නොමැති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

තිස්ස අත්තනායක මහතාට අමතරව, එම ප්‍රකාශය විකාශය කළ පෞද්ගලික මාධ්‍ය නාලිකාවකින්ද රුපියල් මිලියන 100 බැගින් වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව පවරා ඇත. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සම්පත් යාලේවත්ත මහතා අධිකරණයේ පෙනී සිටියේය. නඩුවේ පූර්ණ විභාගය ලබන දෙසැම්බර් මස 2 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post