2026 වසරේ සිට පාසල් වේලාවන් වෙනස් කිරීම නිල වශයෙන් දැනුම් දෙයි


 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ ජනවාරි මස සිට 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) ප්‍රකාශ කළේය. බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නිල මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ ඔහු, ලබන ජනවාරි මස සිට 1 සහ 6 ශ්‍රේණිවල දරුවන්ට 'මොඩියුල' පාදක කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බව ද පැවසීය.



නව කාලසටහනට අනුව, 5 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වෙන අතර, එය මිනිත්තු 50ක කාල පරිච්ඡේද 7කින් සමන්විත වේ. කෙසේ වෙතත්, 1 සහ 2 ශ්‍රේණි සඳහා දැනට පවතින පෙරවරු 7.30 සිට 11.45 දක්වා කාලයත්, 3 සහ 4 ශ්‍රේණි සඳහා පවතින පෙරවරු 7.30 සිට පස්වරු 1.00 දක්වා කාලයත් නොවෙනස්ව පවතින බව ලේකම්වරයා සඳහන් කළේය.


කාල පරිච්ඡේදයක කාලය මිනිත්තු 50 දක්වා වැඩි කර ඇත්තේ දරුවන්ට ක්‍රියාකාරකම්වල නිරත වීමට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා බව ද ඔහු පෙන්වා දුන්නේය.


පාසල් කාලය තුළ විවේක දෙකක් ලබා දීමට යෝජනා වී තිබුණ ද, එහි ප්‍රායෝගික ගැටළු සැලකිල්ලට ගෙන විවේක කාල ගණන තීරණය කිරීමේ අවස්ථාව විදුහල් බලධාරීන්ට ලබා දී තිබේ. නව ප්‍රතිසංස්කරණ යටතේ තීරණ ගැනීමට අවශ්‍ය චක්‍රලේඛන පාසල් බලධාරීන් වෙත නිකුත් කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


දිවයින පුරා පාසල් 10,076ක 1 ශ්‍රේණියේ දරුවන් 282,293ක් සහ 6 ශ්‍රේණියේ දරුවන් 323,896ක් ඉලක්ක කර ගනිමින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ.


මේ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, පුහුණුකරුවන් 10,000කට ආසන්න පිරිසක් පුහුණු කර අවසන් බවත්, පළාත් නවය තුළ ගුරුවරුන් 136,065ක් පුහුණු වෙමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.


'මොඩියුල' මුද්‍රණය අවසන් අදියරේ පවතින අතර, ලබන ජනවාරි 1 වනදා වන විට ඒවා සිසුන් අතට පත් කිරීමට නියමිතය. 1 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ට පෙර පරිදිම පෙළපොත් ලැබෙන බවත්, පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 15ක් වෙන් කර ඇති බවත් ලේකම්වරයා අවධාරණය කළේය. පෙළපොත් අහිමි කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව ද ඔහු කියා සිටියේය.


නව ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබන මාර්තු මස වන විට පාසල් තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. පාසල් 2,500කට පරිගණක හෝ සුහුරු පුවරු ලබා දීමට රුපියල් මිලියන 1,900ක් වෙන් කර ඇති අතර, අන්තර්ජාල පහසුකම් නොමැති ද්විතීයික පාසල් 1,873කට එම පහසුකම් ලබා දීමට ද කටයුතු කෙරෙමින් පවතී. කෙසේ වෙතත්, වැඩසටහන ආරම්භයේදීම දරුවන්ට ඩිජිටල් පහසුකම් අත්‍යවශ්‍ය නොවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post