වසර 11කට පෙර ගාල්ල, කලේගාන ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 58 හැවිරිදි කාන්තාවකට, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ගාල්ල මහාධිකරණය අද (31) තීන්දු කළේය. ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම කාන්තාව කලක් තිස්සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරක් මත, 2014 වසරේ මැයි මස 09 වන දින ගාල්ල දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර තිබේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 18ක් සමඟ ඇයව අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් 2015 වසරේදී හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම යන චෝදනා දෙක යටතේ ගාල්ල මහාධිකරණය හමුවේ ඇයට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.
වසර ගණනාවක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව, චූදිත කාන්තාවට එරෙහිව නගා තිබූ චෝදනාවලින් එකක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී ඇති බවට අධිකරණය තීරණය කළේය. ඒ අනුව, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය, චූදිත කාන්තාව අදාළ චෝදනාවට වරදකාරිය බවට තීන්දු කර, ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.
✅✅✅✅✅
