අනුරාධපුර ශ්‍රී මහා බෝධිය භාරව කටයුතු කරන මහා කපුවා ලෙස හඳුන්වන පුද්ගලයෙකු, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනුරාධපුර විහාරපාළුගම දී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. දඩමස් තොගයක්, ඉබි බිත්තර 14ක්, ගල් ඉබ්බන් 6ක් සහ ඇත් දළ කොටස්වලින් සකසා ඇති බවට සැක කෙරෙන අත් පලඳනාවක්ද ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ මෙම පුද්ගලයා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය.
රිටිගල වනජීවී කලාපයේ වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, අනුරාධපුර, විහාර පාළුගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම කපු මහතාගේ නිවසේ සිදු කළ විශේෂ වැටලීමේදී ශීතකරණයක තිබී මස් තොගයද, බැරලයක සඟවා සිටි සජීවී ඉබ්බන්ද සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දඩමස් අතර ඉත්තෑ මස්, ගෝන මස්, වලි කුකුල් මස් සහ තලගොයි මස්ද වන බව වනජීවී නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
වැටලීම සිදුකළ නිලධාරී කණ්ඩායම:
වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහගේ උපදෙස් මත, අඩවි සහකාර බල ප්‍රදේශයේ සහකාර අධ්‍යක්ෂ චන්දරත්නගේ මෙහෙයවීමෙන්, රිටිගල අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ, පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ට්‍රවේස් පෙරේරා, අඩවි ආරක්ෂක නලින් ජයසූරිය, අඩවි සහකාර එස්.ආර්.එම්. අධිකාරි, අඩවි ආරක්ෂක එස් ඒ. වික්‍රමරත්න, අඩවි සහකාර විජේසිංහ, වනජීවී නියාමක සමන් සෙනවිරත්න, වනජීවී රියදුරු තුෂාර බණ්ඩාර යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.
වැටලීමේදී ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු තොගයක් සහ විදේශ මුදල් ඔහු සතුව තිබූ අතර, එම මුදල් බෝධීන් වහන්සේගෙන් සහ තම කඩයෙන් ලැබෙන ආදායම බවට ඔහු ප්‍රකාශ කර සිටියේය. තවද, තමා ගම් 9කම නායකයා බවත්, ජය ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපු මහතා බවත්, අටමස්ථානයම තමා පිළිබඳව දන්නා බවත් ඔහු එහිදී පවසා සිටියේය.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
