ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු බලකොටුව (ලාල් ක්විලා) අසල, මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ සිදුවූ ප්‍රබල කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිපිරීම ඉන්දීය වේලාවෙන් ඊයේ (10) දින සවස් යාමයේ 7.29ට පමණ සිදුවී ඇති අතර, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.
පිපිරීමත් සමඟම හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ එම ස්ථානයට පිටත් කර යවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තුවාල ලැබූවන් ලොක් නායක් ජයප්‍රකාශ් රෝහල වෙත කඩිනමින් ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට රෝහල් ආරංචි මාර්ග අනතුරු අඟවයි.
මෙම සිදුවීමෙන් අනතුරුව, දිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට සහ පොලීසිය විශේෂ සීරුවෙන් තැබීමට බලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබේ. ඊට අමතරව, ඉන්දියාවේ වාණිජ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නගරයේ මෙන්ම ජායිපූර්, උත්තර් ප්‍රදේශ් සහ උත්තරාඛාන්ද් යන ප්‍රාන්තවල ද ආරක්ෂක විධිවිධාන තර කිරීමට පියවර ගෙන ඇත.
මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහා දක්වන රතු බලකොටුව, 2007 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද, ඉතිහාසය, කලාව සහ සංස්කෘතිය කැටිකළ අතිශය වැදගත් ස්මාරකයකි. දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් නිරන්තරයෙන් පිරී පවතින මෙම ප්‍රදේශය, පිපිරීම සිදුවන අවස්ථාවේදී ද ඉතා ජනාකීර්ණව පැවතිණි. පිපිරීමේ ප්‍රබලත්වය කිලෝමීටර් ගණනාවක් දුරට දැනී ඇති අතර, අවට නවතා තිබූ මෝටර් රථ, බස් රථ සහ ත්‍රිරෝද රථ මෙන්ම ගොඩනැගිලි කිහිපයකට ද දැඩි හානි සිදුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සැලවූ වහාම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව කරුණු විමසා ඇති බවද පැවසේ.
මෙම පිපිරීමට පැය කිහිපයකට පෙර, දිල්ලියට යාබද හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නගරයේ කුලී නිවසක් වැටලූ පොලීසිය, බුද්ධි අංශ තොරතුරකට අනුව පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සොයාගෙන තිබිණි. එම නිවසේ කුලියට සිට ඇත්තේ ජම්මු කාශ්මීරයේ පුල්වාමා හි පදිංචි වෛද්‍යවරයෙකු වන මුජම්මිල් ෂකීල් නැමැත්තෙකු බවත්, ඔහු පාකිස්තානයට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයෙකු බවත් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
✅✅✅✅✅✅✅
