මාලිමාවට බලය හිමි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ රංගික ප්‍රගාද් ධර්මදාස මහතාගේ (34) හදිසි වියෝවෙන් කම්පාවට පත් ඔහුගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා විසින් මාධ්‍ය වෙත සංවේදී අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
ඔහු පැවසුවේ, “මගේ පුතා ප්‍රාදේශීය සභාවේ සභාපති වුවත් ඔහු වැටුපක් ලබා ගත්තේ නැහැ. දුරකථන කාඩ්පත් පවා මිලදී ගෙන දුන්නේ මමයි. ඔහුගේ අසනීප තත්ත්වය වෙනුවෙන් මාසිකව රුපියල් අටදාහක් හෝ නවදාහක් පමණ බෙහෙත් සඳහා වැය වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නෙත් මමයි. මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ” යනුවෙනි.
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාද් ධර්මදාස මහතා ඉකුත් 21 වැනිදා පාන්දර වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කරමින් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකින් වියෝ විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (23) සිදු කෙරිණි.
රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරියකු වන රංගික ප්‍රගාද් ධර්මදාස මහතා, විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය අරගලවලින් ලද අත්දැකීම් මත පන්නරය ලබා, ඉකුත් මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයට ගල්කඩවල කොට්ඨාසය නියෝජනය කරමින් මාලිමාව යටතේ තරග වැදී ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. ඉන් අනතුරුව ඔහු සභාපති ධුරයට පත් විය.
වෘත්තියෙන් ගොවිතැනෙහි නිරත වූ ඔහු සභාපතිවරයා බවට පත් වුවද සිය වෘත්තිය අත්හැරියේ නැත. ඉකුත් 20 වැනිදා රාත්‍රියේ සිය කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගසක් මත වූ පැලක රැකවල් කරමින් සිටියදී ඔහු එම පැලේදී මියගොස් තිබුණි.
මියගිය සභාපතිවරයාගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා සිය පුත්‍රයාගේ හදිසි වියෝව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මගේ පුතා විවාහ වී සිටියේ නැහැ. ඔහුගේ හෘදය වස්තුව ක්‍රියාත්මක වන්නේ 30% ක් පමණක් බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබුණා. ඒ සඳහා ඔහු බෙහෙත් ලබා ගත්තා. මම අක්කර පහක කුඹුරු කරනවා. මම වකුගඩු රෝගියෙක්.
පුතාගේ මව සීනි අමාරුවට බෙහෙත් බොනවා. අපේ අගහිඟකම් නිසා පුතාගේ අම්මා ගෝමරන්කඩවල පොළේ එළවළු විකුණනවා. මේ දිනවල වත්තේ එළවළු නැති නිසා ඒ ආදායමත් නැහැ. මාසයකුත් දින දහයක් පමණ වයසැති මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් බේරා ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ”.
මියගිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් සිටින බව වාර්තා වේ. වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටින අතර, අවිවාහක බාල සහෝදරිය ජෝර්දානයේ සේවය කර මීට දින විස්සකට පෙර ලංකාවට පැමිණ අනුරාධපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරත වෙමින් සිටියි.
මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේදී ත්‍රිකුණාමලය වැඩ බලන නාගරික හදිසි මරණ පරීක්ෂක සහ කින්නියා හදිසි මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී සාක්ෂි ලබා දුන් මියගිය අයගේ මව වන ගෝමරන්කඩවල, තිරප්පනේ පදිංචි එච්. ඒ. සුධර්මා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය. “මියගොස් ඇත්තේ මගේ පුතායි. ඔහුට වයස අවුරුදු හයේ සිට පපුවේ අමාරුවක් තිබුණා. ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුර වැනි රෝහල්වලින් ඔහු විටින් විට ප්‍රතිකාර ලබා ගත්තා. 20 වැනිදා රාත්‍රී හතට පමණ පුතා කෑම වේලද රැගෙන පැල් රකින්නට කුඹුරට ගියා. රාත්‍රී 09.30 ට පමණ මම ඇමතුමක් ගත් විට පුතා කතා කළා.
උදෑසන ඔහු නොපැමිණි නිසා අටයි තිහට පමණ නැවත ඇමතුමක් ගත්තත් ඔහු කතා කළේ නැහැ. ඒ නිසා වත්තේ වැඩ කරමින් සිටි අපි ඥාති පුත්‍රයකුට ‘පුතේ ගිහිල්ලා බලන්න මාමා තාම ආවේ නැත්තේ මොකද’ කියා පැවසුවා. ඉන් පසුවයි පුතා මියගිය බවට මට ආරංචි වුණේ.”
මියගිය සභාපතිවරයාගේ ඥාති පුත්‍රයකු වන සරත් මධුසංඛ ධර්මදාස මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය. “මාමා කතා කරන්නේ නැහැ කියා පැවසූ නිසා මම පැල වෙත ගියා. පැල තිබුණේ ගසක් උඩයි. බිම සිට කතා කළත් සද්දයක් නොලැබුණු නිසා මම පැලට උඩට නැග්ගා. බලන විට ඔහු සිහි නැතිව සිටියා. මම කීපදෙනෙක් එකතු කරගෙන මාමාව රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බව පැවසුවා.”
සාක්ෂි මෙහෙයවීම ගෝමරංකඩවල පොලිසියේ සැරයන් (22930) එස්. එම්. ජේ. ජී. සමරකෝන් මහතා විසින් සිදු කරන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ බී. එල්. පී. එම්. බෝරුක්ගම මහතා විසින් සිදු කරනු ලැබීය.
මරණයට හේතුව නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා මළ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවීමට මෙහිදී තීරණය විය.
ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් ත්‍රිකුණාමලය වැඩ බලන හදිසි නාගරික මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතා, මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව ඥාතීන් ප්‍රකාශ කිරීම අනුව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් අවසන් කටයුතු සඳහා මළ සිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කළේය.
✅✅✅✅✅✅✅✅✅✅
