වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ අනුරාධපුර, ජයසිරිපුර පදිංචිව සිටි 23 හැවිරිදි ටී.එම්.එස්. නිර්මාල් වික්‍රමදාස (සචිත්ර නිර්මාල්) නමැති සිසුවෙකු ඉකුත් 01 වන දා මියගොස් තිබේ. මෙම මරණය නවක වධ දීමේ සිදුවීමක් හා සෘජුව සම්බන්ධ බවට ඥාතීන් සහ සෙසු සිසුන් චෝදනා කරති.
කාලයක සිට හෘද රෝගී තත්ත්වයක් මෙන්ම ශ්වසන ආබාධයකින් ද පෙළුණු මෙම සිසුවා ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදුකළ නවක වධ දීමක් අතරතුර ඔහුට බලහත්කාරයෙන් අධික ලෙස මත්පැන් පානය කිරීමට සැලැස්වීම නිසා ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී මෙම මරණය සිදුව ඇති බවට චෝදනා එල්ල වේ.
"වාත කිරීම" යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලියක් යටතේ, මරණය සිදුවීමට පෙර දින, එනම් ඔක්තෝබර් 31 වන දා දහවල් 1.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ නවක සිසුන් පිරිසක් ගිනියම් අව්වේ ක්‍රීඩා පිටියක රඳවා තබා ගනිමින් නවක වදයට ලක් කර ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාව සඳහා මත්පැන් ගෙන ඒමට අවසරයක් නොතිබුණ ද, ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් මත්පැන් සහ ගංජා රැගෙන විත්, පානය කිරීමට අකමැති වූ සිසුන්ට පවා බලහත්කාරයෙන් ඒවා පානය කිරීමට සලස්වා ඇති බවට සෙසු සිසුහු චෝදනා කරති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් සිසුවෙකු කියා සිටියේ, "ඒක වෙල්කම් එකේ හැටි. ලෙඩ ගැන බල බල ඉන්නේ නැහැ, වැටෙනකම්ම පොවනවා. බොන්න කැමති අකමැති අය තෝරන්නෙත් නෑ, නැගිටගන්න බැරි වෙනකම්ම බලෙන් පොවනවා, සක්කිලි වගේ" යනුවෙනි.
කෙසේ වෙතත්, වවුනියාව පුවරසන්කුලම පොලිසිය මුලින් ප්‍රකාශ කළේ මෙම සිසුවා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි. එහෙත්, ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැලකිය යුතු මත්පැන් සාන්ද්‍රණයක් අඩංගු වන්නට ඇති බවට පොලිසිය මේ වන විට සැක පළ කර තිබේ. මෙම සිදුවීම නවක වධයක් නිසා සිදුවූවක් බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය වසන් කිරීමට උත්සාහ දරන බවට ද චෝදනා පවතී.
මියගිය සිසුවාගේ දේහය වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අනාවරණය වනු ඇත. වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති නමුත්, මේ වන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.







