"මම 2001 වසරේ මාර්තු 12 දඩයම් කරපු තෝරාගේ බර කිලෝ 47යි... ඒ ගැන කවුරුවත් ජාත්‍යන්තරයට වාර්තා කළේ නෑ" - ගිනස් පොතට නොගිය ලොකුම මාළුවා අල්ලපු කිමිදුම්කරුවා...


 හැටේ දශකයේ එක්තරා දිනයක මාතර නිල්වලා නදියේ නාවිමන තොටුපළවෙත කොලුගැටයකු යන්නේ ගංදියත් සමග හරි හරියට ඔට්ටු වන්නටය.


කුඩා කල සිට තිබූ ජල ක්‍රීඩාවට ඇති ආසාව නිසා ම මේ තරුණයා ගෙදරටත් නොකියාම තවත් තරුණයන් කැටුව සෑම දිනකම සවස් වරුව නාවිමන තොටුපළේ ගෙවාදැමුවේය.


ඔහු නිල්වලා නදියේ හැකි තරමින් දියබුං ගැසුවේය. අනෙක් යහළුවන් සමග එගොඩ මෙගොඩ තරගයකට මෙන් පිහිනුවේය. එකල කිඹුලන් ගැවසෙන නාවිමන තොටුපළ එහා මෙහා පීනා යෑම තරම් තවත් භයානක වැඩක් නොමැති වූවද, මේ කියන කොලුගැටයාට නම් නිල්වලා ගඟේ එගොඩ මෙගොඩ පිහිනීම ‘කජු කනවා’ වැනිය.


ඔහු එතැනින් නවතින්නේ නැත. මාතර උයන්වත්ත ගම්පියස වූ ඔහුගේ නිවසට මහ මුහුද ද පේන දුරය. පාසල් ගොස් නිවසට එන ඔහුගේ විනෝදාංශය වූයේ තරුණයන් සමග මුහුදේ පිහිනීමය. පරක්තෙරක් නොපෙනෙන මහ මුහුදත් සමග ඔහු හැමවිටම හැපුණේ ඉලන්දාරිකමටත් එහා ගිය මහලොකු කෙරුමකු බව මහ මුහුදටත් ඒත්තු ගැන්වීමටය.


මේ කතානායකයා නමින් රංජිත් උපාලි වික්‍රමසිංහය. උපන්ගම මාතර උයන්වත්තය. රංජිත් කුඩාකල සිටම ගඟට මෙන්ම මහමුහුදටත් පෙම් බැන්දේය. යාන්තමින් අවුරුදු පහළොවක් වෙද්දීම රංජිත් මහ මුහුද සමග පොරබැඳීම තමන්ගේ විනෝදාංශය කරගත්තේය. විටෙක ඔහු මහ මුහුදේ පෙරළෙන රළ ගෙඩි අතර තරගයට මෙන් හරි අපූරුවට පිහිනුවේය. මහ හඬින් පෙරළෙන රළ ගෙඩි මාතර වෙරළ තීරයට විත් කිරිපිඬු පෙණ නැඟෙන්නේ මේ අපූරු කොලු ගැටවාගේ හපන්කම් දැක මහ මුහුද සතුටු වෙන්නා සේය.


කාලය එසේ ගෙවී යද්දී මේ තරුණයාගේ ඉරණම වෙනස් වන්නේ එකල මාතර (පොල්හේන) වෙරළ තීරයේදී ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ පිහිනුම් පුහුණු සැසියකට අහඹුලෙස සහභාගි වීමට අවස්ථාව ලැබීමත් සමඟය. එහිදී ඔහුව නිදහස් ආර පිහිනුම් ඉසව්ව සඳහා තෝරාගැනුණි. එයින් ද බොහෝ ජයග්‍රහණ ලබාගත් රංජිත්ට පිහිනුම් ශූරයකු ලෙස කා අතරත් කතාබහට ලක්වීමට වැඩිකාලයක් ගතවුණේ නැත. පසුකලෙක වෘත්තියෙන් නාවික හමුදාවේ නාවික භටයකු වූ රංජිත් එහි දක්‍ෂ කිමිදුම් ශූරයකු වූයේය.


අවාසනාවකට මෙන් මේ කිමිදුම් ශූරයා ගැන ලොව වාර්තා අතරට නොයන්නේ එක් හේතුවක් මතය. එහෙත් ඒ වනවිට ද කිමිදුම්කරුවකුට කළ හැකි සුවිශේෂී කාර්යභාරයක් රංජිත් සිදුකොට හමාරය. මේ ඔහු කළ හපන්කම් කිහිපයක් පමණි.


මීට දින කිහිපයකට පෙර මේ අපූරු මිනිසා අප හමුවුණේද අහම්බයෙනි. හෙතෙම තම කිමිදුම් ජීවිතයේ මහ මුහුද සමග ලද අත්දැකීම් සම්භාරය පොතක් බවට රචනා කොට තිබිණි. රංජිත් අද වනවිට තම නාවුක රැකියාවට සමුදී තිබුණ ද පිහිනීමට, කිමිදීමට සමුදෙන්නට කිසිසේත්ම සූදානම් නැත. වයස අවුරුදු හැත්තෑව කඩඉමත් පසුකරන හෙතෙම සිතින් ගතින් තවමත් තරුණය. මනා ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි මේ කිමිදුම්කරුවාට අද රටට, සමාජයට කියන්නට බොහෝ දෑ ඇත්තේ ය. මෙතැන් සිට පෙළගැසෙන්නේ උපාලි රංජිත් නමැති දක්‍ෂ කිමිදුම්කරුවාගේ අතීත ආවර්ජනය යි. අප ඔහුට ඉඩදී බලාසිටියෙමු.


“මම ඉපදුණේ 1954 වසරේ. මාතර උයන්වත්තේ තමයි අපි ජීවත් වුණේ. අපි ගමේ යහළුවන් සමග හවසට මාතර නිල්වලා ගඟේ නාන්න යනවා. නිල්වලා ගඟ කියන්නේ නිතරම කිඹුලන් ගැවසෙන තැනක්. මට මතකයි අපේ වැඩිහිටි අය කිව්වා 1940 දශකයේ අපේම ඥාති සොයුරකු සවස මාතර පාලම ළඟ දිය නාන්න ගිහින් කිඹුලෙක් ඩැහැගෙන ගියා කියලා. ඒත් මේ කිසිදෙයක් අපි අහන්නෙ නැති තරම්. මොකද ඒ කාලෙ අපි යහළුවන් සමග හරියට කෙළිදෙළෙන් හිටපු කාලයක්. හැමදාම හවසට මගේ මිතුරන් කිහිපදෙනෙක් එක්ක නාවිමන තොටුපළට යනවා. අපේ එකම වීරකම තමයි නාවිමන තොටුපළ එගොඩ මෙගොඩ පීනන එක. ඒක පුරුද්දට වගේ හැමදාම කළා.”


නිල්වලා ගඟෙන් මහ මුහුදට

රංජිත් වික්‍රමසිංහ තම අතීතය සිහිපත් කරන්නේ නිහතමානී ආඩම්බරයකින් ද යුක්තය. ඔහු දැන් මහ මුහුදත් එක්ක දශක හතරක් ඔට්ටු වී ඇත. පිහිනීම මෙන්ම කිමිදීම ගැන බොහෝ අත්දැකීම්වලින්ද රංජිත් අද පරිපූර්ණය. එහෙත් මුහුදේ පිහිනීමට ගොස් තමන් බොහෝ අකරතැබ්බයන්ට මුහුණපෑමට සිදුවූ බව ද ඔහු සිහිපත් කරන්නේ සොම්නසින් යුක්තවය.


“මම පුංචි සන්දියේ මට මතකයි අපි මගේ මිතුරන් සමග මාතරට නුදුරු දෙවිනුවර ප්‍රදේශයේ ‘වාව්ව’ කියන ගමේ මුහුදේ දිය නෑමට ගියා. එහිදී මුහුදට බැහැලා පීනන්නට පටන්ගන්න කොට එකපාරම මහා රළයක් ඉහළ නැඟ එම රළ බිඳුණා. එච්චරයි මට මතක. ඒ මොහොතේ මගේ මිතුරන් මඳක් දියඹින් මා පෙරළෙන රළට පනිමින් විනෝද වෙමින් හිටියා. එක් වරම ඒ මහා රළ මා පොළොවේ ගැසුවා. ඒ රළ ඒ තරමට චණ්ඩයි. ඒ රළේ ස්වභාවය වන්නේ එම රළේ බලය බිඳෙන තෙක් දියයට කැරකීමයි. එදා පෙර පිනකට වගේ මා විසි වී ගොස් පොළොවේ සිටුවා තිබුණ කණුවක හැපුණා. එකවර මා එය තදින් අල්ලා ගත්තා. පසුව ක්‍ෂණයකින් රළේ බලය අඩුවී මා නැවත දිය මතු පිටට පැමිණියා. පස්සේ මා හැපුණ කණුව මොකක්ද කියල හොයල බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ ඒ ලී කණුව වගේ තවත් කණු ඒ හරියේ තිබෙනව කියලා. ඒවා ධීවර යාත්‍රා සුළං අඩු කාලයේ තාවකාලිකව යාත්‍රා ගැටගසා තබන ලී කණු. ධීවරයෝ ඒ කණු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නෙ නැතිව කඩල දාලා යනවා. ඒ නිසා දිය යට තියෙන්නේ කණුවේ ඉතිරි උල් කොටස. ඒක මතු පිටට පේන්නෙ නෑ. එදා මගේ පෙර පිනකට වගේ එම කණුවක උඩ සිටින විදිහට මා අසුවුණේ නැහැ. එහෙම වුණානම් මගේ සිරුර පසා කරගෙන එම කණුවක හිරවෙන්න තිබුණා. මගේ ජීවිතය පවා නැති වෙන්න තිබුණා.”


නාවුක රැකියාවට

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ 1972 වසරේ දී මම ශ්‍රී ලංකා නාවුක හමුදාවට බැඳුණා. ඒ යාපනය කරෙයිනගර් රාජකීය ලංකා සේව්ච්ඡා බළඇණියට. ඒ ගියේ පිහිනීමට හොඳ පන්නරයක් අරගෙනයි. 1977 නාවික හමුදාවේ ස්ථිර සෙබළෙක් ලෙස මම සේවයේ යෙදෙනවා. එතැන තමයි මගේ ජීවිතයේ හැරවුම් තැන කියල මම හිතනවා. ඒ කාලේ නාවුක හමුදාවේ තමන් කැමැති අංශවලට අපට ඉල්ලුම් කරන්න පුළුවන්. ක්‍රීඩාවලට, පිහිනුම්වලට අපට අයදුම්කරන්න අවස්ථාව ලැබුණා. මගේ ඇගේ එදා ඉඳන් පිහිනීමට ලොකු ආසාවක් තිබුණ නිසා මම “මුහුදේ කිමිදීම” තෝරාගත්තා. මගේ මුල්ම පුහුණුකරුවා කැප්ටන් රංජිත් වෑත්තෑව. එතුමාගේ අධීක්‍ෂණය යටතේ තමයි අපි මහ මුහුදේ කිමිදෙන්න පුහුණු වුණේ. මුලින්ම කිමිදෙන්න පටන්ගත්තේ ත්‍රිකුණාමලයේ මුහුදෙන්. ත්‍රිකුණාමලය කියන්නේ ලංකාවේ හොඳම මුහුදු සීමාව. ලස්සන කොරල් පාර, මුහුදු ශාක, විවිධ මසුන් බහුලව ගැවසෙන මුහුදු සීමාවක් තමයි ත්‍රිකුණාමලය කියන්නේ. එහිදී අධිපීඩන වායු ටැංකි භාවිත කරමින් දියයට අඩි 50ක් 60ක් යටට කිමිදෙනවා.


මුහුදේ කිමිදීම හා මසුන් දඩයම

රාජකාරි මොහොතෙන් පසුව නිදහස් වෙලාවට අපි කරන්නේ මතුපිටින් හුස්මගෙන රඳවා තබා කිමිදීමයි. (BREATH HOLDING DIVING). මේ ක්‍රමය මගින් ගැඹුරු මුහුදේ කිමිදෙමින් මසුන් පවා අපි දඩයම් කරනවා. ඇත්තටම ඒක ඉතා විනෝද ජනක ක්‍රීඩාවක්. ඒ විතරක් නොවෙයි කිමිදීම කියන්නේ සිත එක්තැන්කර එක් අරමුණක තබාගැනීමට හැකි ඉතා සරල ව්‍යායාමයක්.

ශරීරය සැහැල්ලු කරගැනීම සහ ස්ථුල භාවයෙන් මිදීමට හැකි මිනිස් ශරීරයේ සෑම මාංශ පේෂියකටම වැඩිම වේලාවක් දෙන ව්‍යයායාමක්. මේ ක්‍රීඩාව ලොව බොහෝ රටවල්වල ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ වගේම හොඳ ආදායමක් ලැබෙන වැඩක්. මම මුල්කාලයේ මතුපිටින් හුස්මගෙන රඳවා තබාගෙන අඩි 15-20ක් විතර මුහුදු පතුලට කිමිදෙනවා. එහෙම කිමිදිලා මිනිත්තු දෙකහමාරක් තුනක් ඇතුළත මාළුවකු විදලා දඩයම් කරගන්නවා. ඒකට කියන්නේ බ්‍රෙත් හොල්ඩිං ස්පියර් ෆිෂිං කියලයි. පස්සේ අඩි 50-60 විතර මුහුදේ කිමිදිලා මසුන් දඩයම් කළා. එහෙම මසුන් දඩයම් කරන අවස්ථාවල ලොකු මත්ස්‍යයන්ගේ පවා පහරදීම්වලට මට මුහුණ පාන්න වුණා.”


රංජිත් කිමිදුම් ශූරයකු මෙන්ම ගැඹුරු මුහුදේ කිමිදී මසුන් දඩයම් කරන්නට ද හපනෙකි. ඔහු කියන පරිදි කිමිදී විදිමින් මසුන් මැරීම ලෙහෙසි පහසු දෙයක්ද නොවේය. ඔහු මුහුණ දුන් බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම් සියල්ල වචනවලට පෙරළන්නට තරමේ පුවත්පතෙහි ඉඩකඩ ද ප්‍රමාණවත් නැත.


ඔහු කියන පරිදි බ්‍රෙත් හොල්ඩිං ස්පියර් ෆිෂිං ක්‍රීඩාව ලෝපතළ ක්‍රීඩාවකි. අද වනවිට ද මෙම ක්‍රමය මගින් දඩයම් කරන ලද ලොවෙහි වාර්තා වී ඇති ලොකුම මසුන්ගේ ඡායාරූප හා ලෝක වාර්තා පිළිබඳව ද අන්තර්ජාලයේ පවා පළකොට ඇත්තේ ය. එහෙත් 2001 වසරේ මාර්තු 12 දින අප කතාකරන රංජිත්ගේ මත්ස්‍ය දඩයම ලොවෙහි වාර්තා අතරට නොයන්නේ මුළු රටේ ම අවාසනාවටය.


ලොව වාර්තා අතරට නොගිය තෝරු දඩයම

“බ්‍රෙත් හොල්ඩිං ස්පියර් ෆිෂිං ක්‍රීඩාව ලෝපතළ ක්‍රීඩාවක්. ඒ ගැන ලෝක වාර්තා සහ ලොවෙහි වාර්තා වී ඇති ලොකුම මසුන්ගේ ඡායාරූප එකතුවක් පවා තිබෙනවා. මට මගේ කිමිදුම් ජීවිතයේ වැදගත් ස්ථානයක් තමයි මේ ක්‍රමයට මීගමුව මුහුදේ අල්ලපු තෝරා මත්ස්‍යයා. ඇත්තටම ඒක ලෝකයේ වාර්තා අතරට යන්න ඕන එකක්. ඒත් අපේ අවාසනාවට ඒ ගැන අධීක්‍ෂණයක් කරන්න අපේ රටේ ක්‍රමයක් තිබුණෙ නෑ. ලෝකයේ මතුපිටින් හුස්ම අල්ලා කිමිදී මසුන් විදින ක්‍රමය මගින් දඩයම් කරපු ලොකුම තෝරාගේ බර තිබුණේ කිලෝ 46යි. ඒ වාර්තාවට හිමිකම් කිව්වේ බටහිර ඔස්ටේ්‍රලියාවේ ග්‍රෙග් පිකරිං කියන කිමිදුම්කරුවා. ඒත් මම 2001 වසරේ මාර්තු 12 දඩයම් කරපු තෝරාගේ බර කිලෝ 47යි. ඒ ගැන කවුරුවත් ජාත්‍යන්තරයට වාර්තා කළේ නෑ.”


රංජිත් එසේ කියන්නේ තරමක් කලකිරුණු සිතිනි. අවාසනාවකට මෙන් මෙම ක්‍රීඩාව 2017 වසරේ තහනම් කළ හෙයින් තමන්ට අහිමිව ගිය ක්‍රීඩාව ගැන කියන්නට ද රංජිත්ට තිබුණේ මහත් ඕනෑකමකි. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ ක්‍රීඩාව එකවර අහිමිවන්නට ඇත්තේ කුමන කාරණයකට දැයි කියන්නට ද ඔහුට උවමනාවක් තිබුණි.


වැටුණු තහනම

“මේ ක්‍රීඩාව තහනම් කළේ කුමන පදනමකට ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ වනවිටත් එම ක්‍රීඩාවට අපට යළි පණ දෙන්න පුළුවන්. තවත් අවුරුදු විස්සක් යනකොට මේ ක්‍රීඩාව කරපු අය වයෝවෘද්ධ තත්ත්වයට පත්වෙනවා. එතකොට මේ ක්‍රීඩාව ගැන අපේ ඊළඟ පරම්පරාවට දැනගන්න විදිහක් පවා නැතිවෙනවා. මීට පෙර අපේ අංගම්පොර ක්‍රීඩාවටත් වුණේ මේකමයි. පස්සේ ජාතියේ වාසනාවට නැවත එම තහනම ඉවත්කළා. අපි කියන්නේ දක්‍ෂයන් වගේම නීරෝගී ජව සම්පන්න ජාතියක් නිර්මාණය කරන්න පුළුවන් මෙවැනි ක්‍රීඩා අප ආරක්‍ෂා කරගත යුතුයි කියලයි.”


මේ අසහාය කිමිදුම්කරුවාගේ කිමිදුම් ජීවිතයේ වසර 14ක අත්දැකීම් හෙළිකරන්නට ද ඔහු තවත් මැළි නොවීය. එහෙයින් අප ඔහුට යළි ඉඩහසර ලබාදුන්නෙමු.


“මා මතුපිටින් හුස්ම ගෙන රඳවා තබා දියයට කිමිදී ගතකළ කාලය සාමාන්‍යයෙන් ගත්තොත් දින 1120ක්. ඒ කියන්නේ මාසවලින් 37ක්. හුස්ම රඳවා තබාගත් කාලය සාමාන්‍ය පැය 6720ක්. දිනවලින් 280ක්. සතිවලින් සති 40ක කාලයක්. එම කාලසීමාවේදී ගෙවා ඇති දුර ප්‍රමාණය කි.මී.7392ක්. මෙවැනි අභ්‍යාසයක් කළ පුද්ගලයකු ලෙස මට අද සතුටුවිය හැකියි. මේ ක්‍රීඩාව මගින් මුහුදේ වෙසෙන විවිධ පරව් වර්ග, කොස්සා, ජීලාවා, කෙළවල්ලා, බලයා ආදී මසුන් ඕනෑ තරම් මම දඩයම් කර තිබෙනවා. එයින් හොඳ ආදායමක් ලබාගත්තා. ඒත් දැන් කියන්න කනගාටුයි. මේ ක්‍රමය තහනම් කළ නිසා දැන් කිමිදුම්කරුවන්ට එයින් සමුගන්න වෙලා.


1978 වසරේ ඉඳන් මගේ සොයාගැනීම් නිමාවෙන්නේ 2017 වසරේ රජය පනවන තහනමත් එක්කයි. ඒත් මට කියන්න තියෙන්නේ ලංකාව වටේම මුහුද තියාගෙන අපි මේ සම්පත නිසි ලෙස භාවිත කරලා ලෝකය ජයගන්න පුළුවන් කියලයි. මේ කියන මේ ක්‍රීඩාව ලෝකයේම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. අද ලොව සියලු රටවල් මෙයට ඒකාබද්ධව නීති සකස්කර එයට අවනතව වාර්ෂික මසුන් විදීමේ තරග පවා තිබෙනවා. ඒත් කිසිදු විමසීමක් නොමැතිව අපේ රටේ මේ ක්‍රීඩාව තහනම් කිරීම ජාතියකටම සිදුකළ බලවත් පාඩුවක්, අසාධාරණයක්. දැන් මගේ එකම අපේක්‍ෂාව අනාගත පරම්පරාවට අවදානමකින් තොරව බ්‍රෙත් හොල්ඩිං ඩයිවින් පුහුණුවීමට සුදුසු කිමිදුම් තටාකයක් හා කිමිදුම් කුලුනක් තනාගැනීමයි. ඒ සඳහා රජයේ හෝ පුද්ගලික, හා රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමක් තිබේනම් එය ජාතික මෙහෙවරක් වගේම අනාගතයට හොඳ ආයෝජනයක්.” ඔහු කතාවට සමුදුන්නේ එවන් හරවත් වදන් පෙළකිනි.

රමින්ද මාවතගේ

උපුටා ගැනීම - දිවයින 



✅✅✅✅✅✅



Redirecting...

.

Post a Comment

Previous Post Next Post