මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමට නියමිතයි.
පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය හරහා 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇත.
අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කොට්ඨාශය මගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන අසංග කරවිට මහතා වසර 03ක කාලයකට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අනුයුක්ත කර ඇති අතර එම පත්වීම ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.
2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත මගින් රාජ්‍ය ආයතන 34කට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට සහය පළ කළ යුතු බවට නීත්‍යානුකූලව දැනුම් දී තිබේ.
ඊට අමතරව ඕනෑම ආකාරයකින් සිදුකර ඇති වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීත්‍යානූකූලව මෙම කොට්ඨාශයට බලය හිමිවන අතර අපරාධමය නොවන වත්කම් ඉපැයීම් පිළිබඳව සිවිල් නඩු පැවරීමේ හැකියාව ද පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබේ.
✅✅✅✅✅✅
