මිහින්තලේ බෝධිය කඩාවැටෙයි. වන්දනාවේ පැමිණි අයෙක් මරුට. දැරියකට තුවාල


 පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් අද ( 27) දහවල් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටීමෙන් බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දැරියක් සුළු තුවාල ලබා ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරියපොළ, ඊතනවත්ත, දෙමළුව ලිපිනයේ පදිංචිව සිටි අසංක බණ්ඩාර හේරත් (45) නමැති ව්‍යාපාරිකයෙකි.

වාරියපොල ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ ඥාතීන් නමදෙනකු අද ප.ව : 1.30ට පමණ මිහින්තලය වැඳ පුදා ගැනීමට පැමිණ ඇති අතර, මිහින්තලා මහ සෑය වන්දනා කිරීම සඳහා පිය ගැට පෙළට නැගීමට සූදානම්ව බෝධිය අසලින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

සීල චෛත්‍යය ඉදිරිපිට පිහිටි මෙම බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් හරි මැදින් කොටස් දෙකකට වෙන්වී විශාල ශබ්දයක් නගමින් දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී ඇති බව සිද්ධිය සියැසින් දුටු පිරිස් පවසති.

වාර්තා වන ආකාරයට බෝධිය කඩා වැටෙන අවස්ථාවේදී ඒ අසල සිටි වයස අවුරුදු නවයක පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් ජේ.එච්. නිලන්ත (72921) කටයුතු කර ඇත.

කඩා වැටුණු බෝධියේ අත්තකට යටවී සිරවී සිටි ව්‍යාපාරිකයා මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන මිහින්තලා රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම අනතුර පොහොය දිනයක හෝ සති අන්ත නිවාඩු දිනයක සිදුවූයේ නම් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබූ බව විහාරවාසී හිමිනමක් පැවසූ බවටද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බැතිමතුන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා මිහින්තලා රාජ්‍ය මහා විහාරාධිපති වලවාහැඟුණවැවේ ධම්මරතන හිමිද මිහින්තලේ රජයේ රෝහලට වැඩම කර සිටියේය.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් ගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post