ශ්‍රී ලංකාවේ සමාජ සුබසාධන පද්ධතිය සහ ජාතික මානසිකත්වය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින්, ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති, ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසා සිටියේ මෙරට පවුල්වලින් සියයට 83ක් “යාචක මානසිකත්වයකින්” පෙළෙන බවයි.
“රටේ ජනතාව ආධාර ලබාගැනීමේ අවශ්‍යතාවකින් නොව, පුදුම මානසිකත්වයකින් පෙළෙනවා. මෙයින් පෙනෙන්නේ අප ආර්ථික වශයෙන් පමණක් නොව, මානසික වශයෙන්ද බරපතළ ලෙස දිළිඳු බවයි,” යැයි ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම තත්ත්වය සංඛ්‍යා ලේඛන මගින් තහවුරු කරමින් ඔහු පෙන්වා දුන්නේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2024 වසරේදී මෙරට සිටින මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වුවද, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභය ඉල්ලා පවුල් ලක්ෂ 43ක්, එනම් 83%ක්, අයදුම් කර තිබීම මෙම මානසික යැපුම් ස්වභාවයේ බරපතළකම මනාව පැහැදිලි කරන බවයි.
මෙම ගැටලුව හුදෙක් ක්ෂුද්‍ර මට්ටමේ සමාජ ප්‍රශ්නයක් ලෙස බැහැර නොකළ යුතු බව පෙන්වා දුන් ඇමැතිවරයා, එය මෙරට දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සංස්කෘතියේ සෘජු ප්‍රතිඵලයක් බවට චෝදනා කළේය.
“මේ රටේ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ අය පවා, මහජනතාව විසින් තමන්ව බලාගත යුතු බවත්, තමන්ට ගෙවල්, වාහන, සහ සේවකයන් ලබා දිය යුතු බවත් අපේක්ෂා කරනවා. කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් ඔවුන් වෙනුවෙන් වැය කළ යුතු යැයි සිතන දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කර තිබෙනවා. ඒ දේශපාලන සංස්කෘතියට ගැළපෙන, රජයෙන් යැපෙන සමාජයක්ද අප නොදැනුවත්වම ගොඩනගා අවසන්,” යැයි ඔහු ප්‍රකාශ කළේය.
මෙම “යැපුම් මානසිකත්වයෙන්” රට සහ ජනතාව මුදා නොගන්නේ නම්, ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බවට ඇමැතිවරයා දැඩි ලෙස අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන සමාජ-ආර්ථික කතිකාවතේ කේන්ද්‍රීය ස්ථානයක් හිමි කරගත් “අස්වැසුම” සුබසාධක වැඩසටහන, රටේ ගැඹුරටම මුල් බැසගත් දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය පිළිබඳ ගැටලුව සමඟ දැඩිව බැඳී පවතී. “සමෘද්ධිය” ඇතුළු දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ, දේශපාලනීකරණය වූ බවට චෝදනා එල්ල වූ සුබසාධන පද්ධති වෙනුවට, වඩාත් විධිමත් සහ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීම “අස්වැසුම” වැඩසටහනේ මූලික අරමුණ විය. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික මගපෙන්වීම යටතේ, දත්ත මත පදනම් වූ සමාජ ලේඛනයක් (Social Registry) හරහා සැබෑ අවශ්‍යතා ඇති පවුල් හඳුනාගැනීම මෙහි හරයයි. අතිශය දිළිඳු, දිළිඳු, අවදානමට ලක් වූ සහ තාවකාලික ලෙස ප්‍රතිලාභීන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කර, ඉලක්කගත මූල්‍ය ආධාර ලබාදීම තුළින්, සුබසාධන ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂමව බෙදා හැරීමට අපේක්ෂා කෙරිණි.
කෙසේ වෙතත්, මෙම උදාර අරමුණු සහිතව ආරම්භ වූවද, “අස්වැසුම” ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය දැඩි මතභේදයට සහ මහජන විරෝධයට ලක්විය. එහි ප්‍රධානතම ගැටලුව වූයේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා දත්ත රැස්කිරීමේදී සහ ඒවා විශ්ලේෂණය කිරීමේදී සිදු වූ බරපතළ දෝෂයන් ය. මේ හේතුවෙන්, ආධාර ලැබිය යුතු සැබෑ දිළිඳු පවුල් විශාල සංඛ්‍යාවක් ලැයිස්තුවලින් ඉවත් වී, ඇතැම් විට ආධාර ලැබීමට නුසුදුසු පුද්ගලයන් ඊට ඇතුළත් වීම රට පුරා දැඩි නොසන්සුන්තාවකට හේතු විය.
මෙම අසාධාරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නද, එම ක්‍රියාවලිය අතිශයින් මන්දගාමී වීම සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර ප්‍රමාද වීම, ජනතාවගේ අප්‍රසාදය තව තවත් උත්සන්න කළේය. පැවති ක්‍රමයේ දේශපාලන මැදිහත්වීම් පිටුදැකීම අරමුණක් වුවද, ඇතැම් ප්‍රදේශවල දේශපාලන හිතවත්කම් මත ප්‍රතිලාභීන් තෝරාගත් බවට වන චෝදනා “අස්වැසුම” වැඩසටහනට ද එල්ල වීම එහි විනිවිදභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කළේය.
මෙම සුබසාධන ප්‍රතිසංස්කරණයට පාදක වූයේ, ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය විසින් තීව්‍ර කරන ලද දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවයයි. ලෝක බැංකු දත්තවලට අනුව, 2019 දී 13.1%ක්ව පැවති දරිද්‍රතා අනුපාතය, 2023 වන විට 25% ඉක්මවා යමින්, මිලියන 5.7කට අධික ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද දැමීය.
අහස උසට නැගි උද්ධමනය, විශේෂයෙන්ම ආහාර මිල ගණන් ඉහළ යාම, පවුල්වල මිලදී ගැනීමේ හැකියාව බිඳ දමා, රට තුළ දැඩි ආහාර අනාරක්ෂිතභාවයක් ඇති කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන්නේ, පවුල් මිලියන ගණනක් තම දෛනික ආහාර වේල් සීමා කිරීමට හෝ පෝෂණයෙන් තොර ආහාර පරිභෝජනයට යොමු වී ඇති බවයි. මෙම අර්බුදය, ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් පරතරය තවදුරටත් පුළුල් කළ අතර, එහි වඩාත්ම කණගාටුදායක ප්‍රතිඵලය වූයේ ළමා මන්දපෝෂණය සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. “අස්වැසුම” යනු මෙම බිහිසුණු තත්ත්වයට පිළියමක් ලෙස ඉදිරිපත් වුවද, එහි ක්‍රියාත්මක වීමේ දුර්වලතා, උග්‍ර වූ සමාජ ප්‍රශ්න හමුවේ රාජ්‍ය යාන්ත්‍රණයේ අසමත්කම පිළිබිඹු කළ තවත් එක් වැඩසටහනක් බවට පත්විය.
✅✅✅✅✅✅✅✅✅✅✅
