ඉන්දීය ගායකයෙකු සහ නළුවෙකු වන සුබීන් ගාර්ග්ගේ සිංගප්පූරුවේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් ඔහුගේ උපන් ප්‍රාන්තය වන ඇසෑමය තුළ මහජන කෝපය සහ දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබේ. කලාපයේ වඩාත් ජනප්‍රිය සංස්කෘතික සලකුණක් බඳු වූ ඔහුගේ මරණය විදේශයකදී අපැහැදිලි තත්වයන් යටතේ සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙසට ප්‍රාන්ත රජයට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.
වයස අවුරුදු 52ක් වූ ගාර්ග්, සිංගප්පූරුවේ පැවති ඉන්දීය උළෙලකට සහභාගී වීමට ගොස් සිටියදී සැප්තැම්බර් 19 වන දින යාත්‍රාවක විනෝද චාරිකාවක් අතරතුර හදිසියේ ඇද වැටී ඇත. ශාන්ත ජෝන් දූපතේදී සහය පතා ලැබුණු ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ බව සිංගප්පූරු පොලිසිය ප්‍රකාශ කළ අතර, නිලධාරීන් එහි යන විට ගායකයා සිහිසුන්ව සිටි බව සඳහන් විය. වහාම සිංගප්පූරු මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දුන්නද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී නොමැත. මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු තත්වයක් නොමැති බව පොලිසිය මුලදී ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 23 වන දින ගුවහාටි නගරයට ආසන්න කමාර්කුචි ගම්මානයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ගාර්ග්ගේ දේහය ආදාහනය කරන ලදී. ඊට පෙර, ඔහුගේ දේහය දින දෙකක් පුරා අර්ජුන් භෝගේශ්වර් බරුවා ක්‍රීඩා සංකීර්ණයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර, දහස් සංඛ්‍යාත රසිකයන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. දේහය ආදාහනාගාරය වෙත ගෙන යද්දී "ජායි සුබීන් දා" (සුබීන් සහෝදරයාට ජය) යනුවෙන් හඬ නැගූ ජනතාව, ඔහුගේ මරණයේදී තමා වෙනුවෙන් ගායනා කරන ලෙස ඔහු විසින්ම ඉල්ලා තිබූ ඔහුගේ ජනප්‍රියතම ගීතය වූ "මායාබිනී" ගායනා කළහ. ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා සර්මා මෙය "පුරාවෘත්තයට පුදන අවසන් සමුගැනීම" ලෙස හැඳින්වූ අතර,
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ගාර්ග්ව "ඇසෑම සංස්කෘතියේ කොහිනූර් දියමන්තිය" ලෙස විස්තර කරන ලදී.
සිංගප්පූරුවේදී සිදුකළ මූලික පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස පිහිනමින් සිටියදී දියේ ගිලීම බව නිගමනය කර තිබුණි. කෙසේ වෙතත්, ඉන්දියාව තුළ මතුවූ මහජන සැකය සහ දේශපාලන බලපෑම් හමුවේ, දේහය නැවත ගුවහාටියට ගෙන ඒමෙන් පසු ගුවහාටි වෛද්‍ය විද්‍යාලයේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඇසෑම් ප්‍රාන්ත රජය නියෝග කළේය. එමෙන්ම, ගුවහාටි මහාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අධිකරණ පරීක්ෂණයක් පැවැත්වීමටද, ගාර්ග් සමග සිංගප්පූරුවට ගිය පිරිස අතර සිදුවූ බවට සැකකෙරෙන මූල්‍ය අක්‍රමිකතා සහ මරණය සම්බන්ධයෙන් වන සැකකටයුතු තත්වයන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) පත් කිරීමටද රජය කටයුතු කළේය.
විශේෂ විමර්ශන කණ්ඩායම පිහිටුවීමෙන් පසු සති කිහිපය තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් රැසක් සිදුවිය. ඔක්තෝබර් 1 වන දින ගාර්ග්ගේ කළමනාකරු සිද්ධාර්ථ ෂර්මා සහ උළෙලේ සංවිධායක ශ්යාම්කානු මහන්තා දිල්ලි නුවරදී අත්අඩංගුවට ගෙන ගුවහාටිය වෙත ගෙන එන ලදී. ඉන් පසු දින, ගාර්ග්ගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන ශේඛර් ජ්‍යෝති ගොස්වාමි සහ අම්රිත්ප්රවා මහන්තා රඳවා ගත් අතර, ඔක්තෝබර් 8 වන දින ගායකයාගේ ඥාති සහෝදරයෙකු වන නියෝජ්‍ය පොලිස් අධිකාරී සන්දිපන් ගාර්ග්ද රඳවා ගනු ලැබීය.
වැඩි කල් නොගොස්, ගාර්ග්ගේ දීර්ඝ කාලීන පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වූ නන්දේශ්වර් බෝරා සහ පරේෂ් බයිශ්යාව අත්අඩංගුවට ගැනුනේ ඔවුන්ගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 10කට අධික (ශ්‍රී ලංකා රුපියල් මිලියන 39කට අධික) පැහැදිලි කළ නොහැකි ගනුදෙනු සිදුවී ඇති බවට විමර්ශකයන් විසින් සොයා ගැනීමෙන් පසුවය. මෙම මුදල ඔවුන්ගේ ආදායමට "අතිශයින් නොගැලපෙන" බව පොලිසිය ප්‍රකාශ කළේය. දශකයකට පමණ පෙර තහනම් කරන ලද අසෝම් එක්සත් විමුක්ති පෙරමුණ (ULFA) නම් සටන්කාමී කණ්ඩායමෙන් මරණ තර්ජන එල්ල වීමෙන් පසු ඇසෑම් පොලිසිය විසින් මෙම නිලධාරීන් දෙදෙනා ගාර්ග්ගේ ආරක්ෂාවට යොදවා තිබුණි. ගාර්ග්ගේ බිරිඳ වන ගරිමා සයිකියා ගාර්ග් පසුව තහවුරු කළේ,
තම සැමියා පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් තැන්පත් කිරීමට සහ බෙදා හැරීමට මෙම ආරක්ෂක නිලධාරීන්ගේ ගිණුම් භාවිතා කළ බවයි.
ගාර්ග්ගේ අවසන් මොහොතේදී ඔහු "හුස්ම ගැනීමට වෙර දරමින් මුඛයෙන් සහ නාසයෙන් පෙණ දමමින්" සිටි බව සංගීත කණ්ඩායමේ සාමාජික ගොස්වාමි පොලිසියට ප්‍රකාශ කර තිබුණද, කළමනාකරු ෂර්මා එය "ආමාශයේ අම්ල ප්‍රවාහයක්" ලෙස බැහැර කර තිබූ බව වාර්තා විය. තමන් නැවත ඇසෑමයට පැමිණීමෙන් වැළකී සිටියේ සිය ආරක්ෂාවට තර්ජන එල්ල වෙතැයි යන බිය නිසා බව ෂර්මා සහ මහන්තා යන දෙදෙනාම ප්‍රකාශ කර තිබුණි. "නිශ්ශබ්දතාවය වරදවා වටහා ගත හැකිය. මා වහාම ආපසු නොපැමිණීමෙන් මා වරදක් කර ඇති බව සමහරු සිතනවා... මට සැඟවීමට කිසිවක් නැති බව පැවසීමට අවශ්‍යයි," යනුවෙන් ෂර්මා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
මේ අතර, සංවිධායක මහන්තා ප්‍රකාශ කළේ මෙම යාත්‍රා චාරිකාව තම කණ්ඩායමේ දැනුවත්භාවයකින් තොරව සිදුවූවක් බවයි. සැප්තැම්බර් 19 වන දින නිකුත් කළ ෆේස්බුක් ප්‍රකාශයක, මහන්තාගේ කණ්ඩායම සඳහන් කර තිබුණේ, ඉන්දියාවේ ඊසානදිග කලාපයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් සිංගප්පූරු නිලධාරීන් සමඟ රැස්වීම්වල යෙදී සිටින අතරතුර මෙම චාරිකාව සිදුවී ඇති බවයි. "ප්‍රදේශයේ ඇසෑම ප්‍රජාවේ සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ඔහුව යාත්‍රා චාරිකාවක් සඳහා රැගෙන ගොස් ඇති අතර, ඒ පිළිබඳව අපට කිසිදු පූර්ව දැනුමක් තිබුණේ නැත," යනුවෙන් එම ප්‍රකාශයේ දැක්විණි. ගාර්ග්ගේ මරණයෙන් පසු සැප්තැම්බර් 20 වන දිනට නියමිතව තිබූ ඊසානදිග ඉන්දීය උළෙල අවලංගු කරන ලදී.
මෙම ඛේදවාචකය දැන් ලබන වසරේ පැවැත්වෙන ඇසෑම් ප්‍රාන්ත සභා මැතිවරණයට පෙර දේශපාලනික වශයෙන් උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. කොංග්‍රසය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ, පාලක භාරතීය ජනතා පක්ෂ (BJP) රජයට චෝදනා කරන්නේ, විමර්ශනය අවභාවිතා කරමින් සහ ඇසෑමයේ වඩාත් ජනප්‍රිය සංකේතයක් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවයි.
ඉන්දියාවේ අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ සිංගප්පූරුවෙන් වෛද්‍ය වාර්තා, මරණ පරීක්ෂණ වාර්තා සහ සිද්ධිය වන විට එහි සිටි අයගේ ප්‍රකාශ ඇතුළු තොරතුරු ලැබෙන තෙක් බලධාරීන් මේ වන විටත් බලා සිටී. එමෙන්ම, යාත්‍රාවේ පටිගත කිරීම් සහ ගාර්ග් ජීවිතාරක්ෂක කබායක් සහිතව සහ රහිතව ජලයට ඇතුළු වන අයුරු දැක්වෙන බව කියන සමාජ මාධ්‍ය වීඩියෝ දර්ශනද විශ්ලේෂණය කරමින් පවතී.
✅✅✅
.



