තමා විසින් සංජය බණ්ඩාර මහතා “දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා අපයෝජකයකු” ලෙස හඳුන්වමින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයදින බවත් කලා ශිල්පිනී මාධවී වත්සලා ඇන්තනි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත.
මෙම සමාව අයැදීම, සංජය බණ්ඩාර මහතා විසින් ඇයට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා යොමු කරන ලද එන්තරවාසියකින් පසුව සිදුවීම විශේෂත්වයකි.
2025 ඔක්තෝබර් මස 06 වන දින, මාධවී ඇන්තනි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ “ස්ටෝරි” (Story) සටහනක් මගින් සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය යොදා ගනිමින් ඉහත චෝදනාව එල්ල කර තිබිණි. තමාට සිදු වූ අපහාසය වෙනුවෙන් වන්දි ඉල්ලා බණ්ඩාර මහතා විසින් ඔක්තෝබර් 17 වන දින ඇයට එන්තරවාසියක් යොමු කර තිබුණි.
සිය නවතම නිවේදනය මගින් මාධවී ඇන්තනි මහත්මිය සඳහන් කරන්නේ, සංජය බණ්ඩාර මහතා “ළමා අපයෝජකයකු” ලෙස තමා විසින් සිදුකළ ප්‍රකාශය, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව පූර්ණ සිහිබුද්ධියෙන් යුතුව පිළිගන්නා බවයි. එම වචනය එහි සැබෑ අරුතින් භාවිත නොකළ බව පවසන ඇය, එම ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා බව දන්වා සිටී.
මෙම සිදුවීම නිසා සංජය බණ්ඩාර මහතාට සහ ඔහුගේ පවුලේ අයට සිදු වූ අසීමිත පීඩාව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව සහ අවංක සමාව ප්‍රකාශ කරන බවද ඇයගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත්, සිය සමාව අයැදීමේ නිවේදනය තුළම, තමා එවැනි ප්‍රකාශයක් කිරීමට පෙළඹවූ හේතු ද මාධවී ඇන්තනි මහත්මිය පැහැදිලි කර තිබේ.
වසර ගණනාවක් පුරා සංජය බණ්ඩාර මහතා, තම පවුලේ සාමාජිකයන් වෙනස් දේශපාලන මත දැරීම හේතුවෙන්, ඔවුන්ගේ කීර්ති නාමයට හානි වන පරිදි ෆේස්බුක් සටහන් පළ කළ බවට ඇය චෝදනා කරයි. මෑතකදී පවා, තමා, තම සැමියා සහ පියා ඉලක්ක කර ගනිමින් අසභ්‍ය අරුත් දෙන ඉමෝජි සහ ව්‍යංගාර්ථයන් සහිතව සටහන් පළ කර තිබූ බවත්, බැංකු ණය මුදලකින් ප්‍රකාශයට පත් කළ තම කෘතියක් හාස්‍යයට ලක් කළ බවත් ඇය පවසයි.
මෙම සටහන්වලට ප්‍රතිචාර ලෙස, තම මියගිය පියා, මව, සහෝදරයන් සහ මාස දහයක බිළිඳු දරුවා පවා සම්බන්ධ කරමින් ද්වේෂ සහගත අදහස් පළවී තිබූ බවත්, එමගින් ඇති වූ අසීමිත වේදනාව සහ කණස්සල්ල හේතුවෙන් තමා අදාළ “ස්ටෝරි” සටහන පළ කළ බවත් ඇය සඳහන් කරයි.
මෙම ක්‍රියාව තමා ස්වාධීනව සිදු කළ බවත්, මෙම නිවේදනය නිකුත් කරන්නේ සිදු වූ වැරැද්ද නිවැරදි කර දෙපාර්ශ්වයටම සිදු වූ හානිය වෙනුවෙන් සමාව අයැදීමේ පරම චේතනාවෙන් බවත් මාධවී ඇන්තනි මහත්මිය අවධාරණය කර ඇත.
✅✅✅✅✅✅✅✅✅
