පුත්තලම පාලාවිය මංසන්ධියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයක් පසු පස හඹා ගිය පොලිස් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් සැරයන්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි. පාලාවිය – කල්පිටිය මාර්ගයේ කරඹ පාලම ආසන්නයේදී මේ අනතුර සිදුවී ඇත්තේ පෙරේදා (05) රාත්‍රී 8.00ට පමණය. පුත්තලම කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් වීරසිංහ නම් අයෙක් මේ අනතුරින් තුවාල ලබා ඇත.
අනතුරට පත්ව ඇති පොලිස් සැරයන්වරයා පාලවිය මංසන්ධියට ආසන්නයෙන් රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇත. එම අවස්ථාවේදී පාලාවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ මෝටර් රථය නවත්වන ලෙස ඔහු අණ කර ඇත. නමුත් මෝටර් රථය පොලිස් අණ නොතකා පලා ගොස් ඇත.
පලා යමින් තිබූ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට ඒ පසුපස හඹා යමින් සිටියදී පොලිස් යතුරුපැදිය කරඹ පාලමේදී අනතුරට පත්ව ඇති බව පොලීසිය කියයි. රෝහල්ගත කර ඇති පොලිස් සැරයන්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් අණ නොතකා පලා ගොස් ඇති මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
පුත්තලම කොට්ඨාස රථවාහන අංශය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
✅✅✅✅✅✅✅
