4261 Viewsනිවසේ කටයුතු සිදු කිරීම සහ දරුවන් රැකබලා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් නිවසේ ආහාර පිසීම, පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම සහ නිවසේ අනෙක් සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම ගෘහණියකට පැවරෙනවා.මේ සියලු කටයුතු නිසා ඔබ අධික වෙහෙසට පත්වනවා නම් ඔබට මේ කිසිවක් නිසියාකාරව ඉටුකර ගැනීමට ලැබෙන්නේ නැහැ.මෙයින් සිදුවන්නේ ඔබ තදබල ලෙස ආතතියට සහ මානසික පීඩනයට ලක්වීම පමණයි. ඒ වගේම නිතරම කෝපයට පත් වීම ,නින්ද නොමැති වීම , මනෝභාවයන් වේගයෙන් වෙනස් වීම , දරුවන්ගෙන් සහ සැමියාගෙන් දුරස් වීම ආදී දේවල් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවිය හැකියි. ඔබත් එවැනි ලෙස අධික වෙහෙසට පත් මවක් නම් ඔබ කළ යුතු වන්නේ මොනවාද? ඒ ගැනයි මේ ලිපිය
ඔබ වෙහෙසට පත්වන දේවල් දැන ගන්න
මෙය ඔබ ඔබේ දින චර්යාව අතරතුර සිදු කළ යුතු දෙයක්. ඔබ වැඩිපුරම වෙහෙසට පත් වන්නේ කුමන කාරණා නිසා දැයි ඔබ දැන ගත යුතුයි. පිරිසිදු කිරීමේ කටයුතු ,ආහාර පිසීමේ කටයුතු හෝ ගෙවත්තේ කටයුතු වලින් ඔබ වෙහෙසට පත්වනවා නම් එම කටයුතු ඉටු කිරීම සඳහා පහසු ක්‍රම තෝරා ගන්න. උදාහරණයක් වශයෙන් ඔබ නිවසට අවශ්‍ය බඩු මිලදී ගෙන ආ විට එළවලු සහ මස් මාළු වර්ග සෝදා කපා අවශ්‍ය ප්‍රමාණ වලින් අසුරා තැබීමෙන් ඔබට ආහාර පිසීමේ කටයුතු පහසු වනවා. ඒ වගේම පිරිසිදු කිරීමේ කටයුතු කොටසින් කොටස සිදු කිරීම මගින් සති අන්තයේ ඔබට කෙටි විවේකයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ආකාරයට ඔබේ කටයුතු පහසු කර ගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන්න.
ලැයිස්තුවක් සාදන්න
ඔබ පසු දිනයේදී සිදු කළ යුතු දේවල් පිළිබඳව ලැයිස්තුවක් සාදන්න. මෙම ලයිස්තුවට ඔබ ඇතුළත් කළ යුත්තේ ඔබ විසින් ඉටු කළ යුතු සරල සහ ප්‍රමුඛ කාරණා පමණයි.ඔබට ලබන සතියේ කිරීමට තිබෙන යම් කාර්යයක් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමෙන් වළකින්න.එමගින් ඔබ අනවශ්‍ය ලෙස ආතතියට පත්වීම සිදුවනවා. ඒ නිසා ඔබ ඊළඟ දවසේ දී විශේෂයෙන්ම සිදු කළ යුතු කටයුතු පමණක් ලැයිස්තුවේ සඳහන් කරන්න. එවිට ඔබට මගහැරීමකින් තොරව සියලු කටයුතු ඉටු කර ගැනීමට හැකි වනවා.
පොතක් කියවන්න
දවස තුළදී ඔබ මොනතරම් කාර්ය බහුල කෙනෙක් ඔබ වෙනුවෙන් වේලාවක් වෙන්කර ගැනීම අතිශයින්ම වැදගත්.මෙය ඔබේ මනෝභාවය සැහැල්ලු කිරීමට වගේම ඔබව ආතතියෙන් මුදවා ගැනීමට හැකි එක පියවරක්. කියවීම සඳහා ඔබේ ජීවිතයට ධනාත්මක සිතුවිලි එකතු කරගත හැකි පොත් තෝරා ගන්න. එසේත් නැතිනම් වෙබ් අඩවිවල පළවන ලිපි තෝරා ගන්න. දිනකට අවම වශයෙන් මිනිත්තු 20ක් වත් කියවීම සඳහා වෙන්කර ගැනීම මගින් ඔබට දැනෙන වෙහෙසකාරී බව මඟ හරවා ගන්නට පුලුවන්
ස්වයං රැකවරණය ප්‍රමුඛතාවයක් ලෙස සලකන්න
ඔබ අන් අයව රැක බලා ගැනීමට පෙර ඔබවම රැක බලා ගත යුතුයි. ඔබට අන් අයව රැක බලා ගැනීමට ශක්තිය සහ හැකියාව ලැබෙන්නේ එවිටයි. ඔබේ මානසිකත්වය ඉතා හොඳින් පවත්වා ගැනීමට සහ ඔබට ඔබ පිළිබඳවම හොද හැඟීමක් පවත්වා ගැනීමට ඔබ ඔබව හොඳින් රැක බලා ගත යුතුයි.ඒ නිසා දවසේ යම් කිසි වේලාවක් කෝපි කෝප්පයක් පානය කිරීම සඳහා , ඔබ කැමැති කෑමක රස බැලීම සඳහා හෝ ඔබ කැමැති විනෝදාංශයක නියැළීම සඳහා වෙන් කර ගන්න.
ඔබේ දරුවන්ට කුඩා කාර්යයන් පවරන්න
මවක් ලෙස ඔබ ඔබේ දරුවන්ගේ කටයුතු ඉටු කළ යුතු වුවත් ඔවුන්ගේ සියළු කටයුතු ඔබ ඉටු කළ යුතු යැයි නියමයක් නැහැ.ඔවුන්ට කුඩා කාලයේ සිටම කුඩා කාර්යයන් පැවරීම මගින් ඔවුන්ගේ පෞරුෂත්වය ද වර්ධනය වන නිසා එවැනි දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. උදාහරණයක් ලෙස ඔවුන් වැඩ කරන මේසය පිළිවෙලට තබා ගැනීමට, ආහාර ගත් පිඟාන සේදීමට , ඇඳුම් නියමිත ස්ථානවල තබා ගැනීමට සහ නිදා ගත් ඇඳ අස් කිරීමට වැනි දේවල් වලට ඔවුන්ව කුඩා කල සිටම හුරු කරන්න. මෙය ඔවුන්ගේ වර්ධනයට බලපාන අතර ඔබේ කටයුතු වලටද පහසුවක් වනවා.
උදව් ඉල්ලන්න
මවක් වශයෙන් සියලු කාර්යයන් ඉටු කරන අතරතුර විවේක කාලයක් ලබා ගැනීම ඔබට අත්‍යවශ්‍යයි. ඒ අවස්ථාවේදී යම් කටයුත්තක් මගහැරෙනවා නම් සැමියාගෙන් හෝ පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් උදව් ඉල්ලන්න. එසේ උදව් ඉල්ලීම කිසිසේත්ම වරදක් නොවන අතර ගෘහණියක් සහ මවක් වන ඔබට විවේක කාලයක් සහ ජීවිතය විඳීමට මොහොතක් අවශ්‍ය බව අන් අයට තේරුම් කර දෙන්න.
උදෑසන කාලයේ සිට රාත්‍රී කාලය වනතුරු අධික ලෙස කාර්ය බහුල වන ඔබට එසේ දිගින් දිගටම වෙහෙසට පත්වීම මගින් සෞඛ්‍යමය ගැටලු පවා ඇති වන්නට පුළුවන්. එවිට අපහසුතාවයට පත් වන්නේ ඔබේම පවුලේ අයයි. නමුත් එයට පෙර නිසි විවේකයක් ලබා ගනිමින් සහ ඔබ වෙනුවෙන් කාලය වෙන්කර ගනිමින් අධික ලෙස වෙහෙසට පත්වීම වළක්වා ගන්නට ඔබට පුළුවන්.ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු වන්නේ සුළු පියවරවල් කිහිපයක් පමණයි..
උපුටා ගැනිම අන්තර්ජාලයෙන්
✅✅✅✅✅✅✅✅✅
