මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කු (කේබල් කාර්) රථයක් පෙරළීමෙන් සිදුවූ මාරක අනතුරෙන් බරපතළ තුවාල ලබා, කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උණපානේ චන්ද්‍රසිරි හිමියන් අද (10) පෙරවරුවේ අපවත්වී වදාළහ. මෙම අනතුරෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ උන්වහන්සේගේ අපවත්වීමත් සමඟ, එම ඛේදවාචකයෙන් මියගිය සමස්ත හිමිවරුන්ගේ සංඛ්‍යාව නවය (9) දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රියේ මෙම දරුණු අනතුර සිදුවන විට, ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩසිටි දෙස් විදෙස් හිමිවරුන් අට නමක් එදිනම අපවත්වී වදාළහ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ චන්ද්‍රසිරි හිමියන්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ මූලික ප්‍රතිකාරවලින් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබිණි.
මෙම අනතුරෙන් අපවත්වී වදාළ අනෙකුත් හිමිවරුන් අතර රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි සහ ඉන්දීය ජාතික ධම්මගවේෂී යන විදේශික හිමිවරුන් තෙන්නමක්ද, උඩවලවේ සත්තසුමන, නාවලපිටියේ උත්තරානන්ද, නුගේගොඩ විපස්සී, මල්වානේගම සමිද්ධි සහ පන්නිපිටියේ ඉන්දෝහාස යන ශ්‍රී ලාංකික හිමිවරුන්ද වෙති. ඉන් ඉන්දෝහාස හිමියන් අපවත්වූයේ අනතුර සිදුවී දින දෙකකට පසුවය.
මේ අතර, එම අනතුරෙන්ම බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රාජගිරියේ ලෝකහිත සහ අනිවත්තේ සරණංකර යන හිමිවරුන් දෙනම මේ වන විට සුවය ලබා ඇති බවද වාර්තා වේ. අපවත්වී වදාළ උණපානේ චන්ද්‍රසිරි හිමියන්ගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව නාඋයන ආරණ්‍ය සේනාසනයේ දායක සභාව ප්‍රකාශ කර සිටී.
✅✅✅✅✅✅✅✅✅
