16 හැවිරිදි පෙම්වතියගේ හුස්ම නැවතූ ඔහු විවාහකයෙක්.. ඇගේ මරණය පිටුපස සැඟවුණු ශෝකාන්තයේ තවත් කතාවක්..


 8722 Views

පසුගිය දිනවල අහන්නට දකින්නට ලැබුණු මේ සිද්ධිය ගැන ඔබත් සොයන්නට ඇති.

ඇයගේ ජීවිතය උදුරාගත් මේ පෙම්වතා කවුද? ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් එක් ඇඟ සලිතවන කතාවක් තමයි මේ..


පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතෙක් ඉකුත්(14)දා තම දාසය හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල කර ඇය මරා දමා ඔහුද ගෙල වැලළාගෙන මියයෑමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.


මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පොළ පන්විලතැන්න මිල්ලගහමුල කාසල්මිල්ක් ප්‍රදේශයේ පදිංචි හේවගේ මල්කී දිල්රුක්ෂි හා ආභරණ ගෙදර දිනූෂ ප්‍රියන්ත දිල්ෂාන් යන දෙදෙනායි. මල්කි දිල්රුක්ෂි එම ප්‍රදේශයේ පාසලක දහය වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.ඇගේ නිවස ආසන්නයේ පදිංචිකරුවෙක් වන දිනූෂ ප්‍රියන්ත යන අය කලක් යුද හමුදාවේ සේවය කොට ඉන් පලාවිත් විවාහයක් කරගැනීමෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.


එම විවාහය අසාර්ථක වීමෙන් පසු මොහු ගමට පැමිණ සිටියදී සිය පියා සමඟ ආරවුලක් ඇති කරගෙන අමනාප වී මියගිය මල්කිගේ දෙමාපිය කැමැත්ත මත එම නිවසේ වසර දෙකක පමණ කාලයක් පදිංචිව සිට තිබේ. මල්කිගේ හා දිනූෂගේ නිවෙස් ඉතා ආසන්නව පිහිටා ඇත. ඒ අතරතුර මෙම පාසල් දැරිය සමඟ මොහු පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර පසුවමොහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැකියාවක් කිරීමට ගොස් තිබේ. ඒ අතර මල්කි දිනූෂට කතා කර පෙම් සබඳතාවය නවත්වන බවට දන්වා ඇති අතර ඔහු සැකකර ඇත්තේ ඇය වෙනත් අයෙක් සමග අලු‍ත් සබඳතාවයක් ඇති කරගෙන ඇති බවයි.

එයින් උරණ වී ඇති මොහු සිකුරාදා සවස ගමට පැමිණ මල්කිගේ මවට තර්ජනය කර ඇත්තේ ඔක්කොම කපා කොටා මරා දමන බවය. මල්කිගේ මව වූ වෙදගෙදර පුෂ්පකුමාරි ඒ බව පොලිසියට ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ “දිනූෂ එයාගේ තාත්තා එක්ක තරහා වෙලා අපේ ගෙදර අවුරුද දෙකක් විතර හිටියා. අපි එයාට නවාතැන් දුන්නා. නමුත් දුව එක්ක සම්බන්ධතාවයක් ඇතිකර ගත්ත නිසා අපි ඒකට විරුද්ධ වුණා. අපි එයාට ගෙදරින් යන්න කිව්වා. ඒත් එයා ගෙදරින් ගියේ නෑ. ඒ නිසා අපි එයාට බලකර හිටියා ඊට පස්සේ එයා රස්සාවක් හොයාගෙන ගියා.”

දිල්කිගේ පියා වන හේවගේ ලලිත් කුමාර යන අය කොළඹ ප්‍රදේශයේ බේකරියක රැකියාවක් කරන අතර ඔහු නිවසට පැමිණ ඇත්තේ මාසයකට සැරයක් පමණය. මෙදින නිවසේ සිට ඇත්තේ දිල්කිගේ මව, අත්තම්මා හා ඇගේ නැගෙණිය පමණය. මව නින්දට ගිය පසු මෙම සැකකරු රාත්‍රි දහයට පමණ මෙම නිවසට ඇතුළුවී දිල්කිගේ ගෙලට පිහි පහරක් එල්ල කර පලා ගොස් තිබිණි.

දිල්කිගේ අත්තම්මා වන 75 හැවිරිදි වෙදඇල ගෙදර ලීලාවතී, ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන්න මෙනවිය ඉදිරියේ ඒ පිළිබඳව මෙසේ සඳහන් කළාය.

“මගේ දුව පුෂ්ප කුමාරි මිනිබිරිගේ කාමරයට එහා අනිත් කාමරයේ නිදාගෙන හිටියේ. රෑ නමයට විතර දිල්කි මට කිව්වා එළියේ වැසිකිලියට යන්න ඕන කියල. මම රෑ නමයට විතර එයාට මුත්‍රා කරන්න එක්ක ගිහින් කාමරයට ආයෙ එක්ක ආවා. මමත් එයාට අල්ලපු කාමරයෙ තමයි නිදා ගත්තේ.”

දිල්කි හා ඇගේ නැගණිය නිදාගෙන ඇත්තේ එක කාමරේය. විදුලිය නිවා දමා ඔවුන් නින්දට ගිය පසු මෙම සිද්ධිය ඇතිවී තිබේ. දිනූෂ කලින්ම සූදානම් වී ත්‍රිකුණාමලයේ සිට ගමට පැමිණ ඇත්තේ වෙළඳ සැලකින් පිහියක්ද මිලදී ගෙනය. ඔහු රැගෙන ආ බියර් බෝතල් කීපයක්ද දිල්කිගේ නිවස අසලට වී පානය කර ඇත. දිල්කි හා ඇගේ අත්තම්මා වැසිකිලියට යන අයුරු නිවසේ එළියේ සිට බලා සිටි ඔහු හැර තිබූ දොරෙන් ඇතුලට විත් නිවසේ සැඟවී සිට ඇත. මේ බව නොදත් එළියට ගිය දිල්කි හා අත්තම්මා යළි නිවසට පැමිණ නිදාගැනීමට ගොස් තිබිණි.

දිල්කිගේ ගෙලට පිහි පහරක් එල්ල වී ඇති බව දැනගත් මව කෑ ගසමින් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා ඇති මුත් කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් නොවී තිබූ බව ඇය පොලිසියට කියා ඇත.

මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දිල්කිගේ මව සඳහන් කළේ දුව මට කිව්වා දිනූෂ ඇවිත් පිහියෙන් කැපුවා කියලා. දුවගේ කාමරයේ සිවිලිං ගහලා තියෙන නිසා මට සද්දේ ලොකුවට ඇහුනේ නෑ. කෙඳිරි ගාන සද්දයක් ඇහුණා. මම දුවගේ කාමරයට එන කොට එයා බෙල්ල අල්ලාගෙන හිටගෙන හිටියා. දිනූෂ ඇරලා තිබුණ දොරෙන් ගෙට ඇතුල් වෙලා තිබුණේ. දුවගේ බෙල්ලෙන් ලේ ගොඩක් යන නිසා මම රෙද්දක් තියලා තද කරගෙන අල්ලාගෙන හිටියා. ඒත් කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ එයා ඉස්පිරිතාලෙට අරන් යන්න.

පොලිසිය සඳහන් කළේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මිය යන්නට ඇති බවත් ගමේ කිසිවකුත් ඇය රෝහල් ගත කිරීමට ඉදිරිපත් නොවීම අවාසනාවන්ත සිද්ධියක් බවත්ය.

සැකකාර දිනූෂ මෙම සිද්ධියෙන් පසු එම නිවසට ඉහළ ඇති තේ වත්තක දළුමඩුවකට ගොස් ගෙලවැලළා ගෙන මිය ගොස් තිබිණි. මල්කි ඝාතනය කිරීමට යොදා ගත් රුපියල් 150 ක් ගෙවා ලබාගෙන තිබූ තියුණු පිහියද ඒ අසල දමා තිබී හමු විය. ඔහුගේ ජංගම දුරකථනය ඔහු විනාශ කර තේ වත්තට විසිකර තිබියදි සොයා ගෙන ඇත.

දිනූෂට සහෝදරයන් දෙදෙනකු සිටින අතර ඔහු පවුලේ වැඩිමලාවේ. දෙවැන්නා යුද හමුදාවේ සේවය කරන අතර බාල සොයුරා නිවසේ පියා සමඟ ජීවත් වෙයි.

මෙම ස්ථානයට පැමිණි ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන්න මහත්මිය සාක්ෂි විමසීම සඳහා ඉදිරි දින ලබා දුන්නාය. දෙදෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණය 16දා ගම්පොළ ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රණසිංහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාපා, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත, උප පොලිස් පරීක්ෂක දසනායක පොලිස් සැරයන්වරු වන 21580අමිත, 53793 රුක්මන්, පොලිස් කොස්තාපල්වරු වන 101295 ජයවීර හා 103238 ලක්ෂාන් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 

✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post