නොහොබිනා දියණිය හඹා ගිය අමන පියෙක් අහිංසකයෙක් මරුට 4ක් රෝහලට යවලා


 කඳාන ප්‍රදේශයේදී සිය දියණිය තරුණයකු සමඟ යතුරුපැදියකින් පලා යෑම වැළැක්වීමට උත්සාහ කළ පියකු විසින් සිදුකළ මාරක රිය අනතුරු දෙකකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම සිද්ධිය පෙරේදා (15) රාත්‍රී 7.00ට පමණ සිදුව ඇතැයි වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, උග්ගල්බොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දීපාල් හේමන්ත නමැති යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා සමඟ යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා ද බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

සිද්ධියට මුල පිරූ පියාද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටී. ඔහු 46 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විමර්ශන නිලධාරීන් පවසන පරිදි, කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා පෙරේදා රාත්‍රී 7.00ට පමණ නගරයට පැමිණ තිබේ. එහිදී තම දියණිය තරුණයකු සමඟ යතුරුපැදියක නැඟී පලායන ආකාරය ඔහු දැක ඇත.

මෙම දර්ශනයෙන් දැඩි කලබලයට පත්වූ පියා වහාම සිය යතුරුපැදියේ නැඟී ඔවුන් ලුහුබැඳ ගොස් ඇත.

කෙසේ වෙතත්, කඳාන මාරියා මාවත ප්‍රදේශයේදී පියා පැදවූ යතුරුපැදියේ ඉන්ධන අවසන් වී එය නතර වී තිබේ.

ඉන් අනතුරුව, පියා සිය යතුරුපැදිය පසෙක දමා, මාවතේ නිවසක් අසල නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් බලහත්කාරයෙන් පැහැරගෙන ඇත. ඔහු එම ලොරි රථයට නැඟී නැවතත් තම දියණිය පසුපස ලුහුබැඳ ගොස් තිබේ.

තම ලොරි රථය පැහැරගෙන යනු දුටු එහි හිමිකරු, තම සේවකයන් පිරිසක් සමඟ යතුරුපැදි කිහිපයකින් ලොරිය අල්ලා ගැනීමට ලුහුබැඳ ගොස් ඇත.

සැකකාර පියා කඳාන බටගම ප්‍රදේශය ඔස්සේ ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇත.

එහිදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ලොරි රථය ගැටී තිබේ. අනතුර සිදුකළද, ඔහු රථය නොනවත්වා ධාවනය කර ඇත. මෙම අනතුරින් මගී ප්‍රවාහන යතුරුපැදිකරු වූ දීපාල් හේමන්ත මහතා මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

පසුව, ලොරි රථය තවත් යතුරුපැදියක ගැටී ඇත. එම යතුරුපැදියේ ගමන් කරමින් සිටි එකම පවුලේ මවක, පියකු සහ කුඩා දරුවකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබති. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරු මාලාවෙන් පසු, ලොරි රථයේ හිමිකරු, ඔහුගේ සේවකයන් සහ නගරවාසීන් එක්ව ලොරිය පැහැරගත් පියා අල්ලාගෙන ඇත.

පසුව ඔවුන් විසින් ඔහුට පහරදී පොලිසියට භාර දී තිබේ. 46 හැවිරිදි සැකකාර පියා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත කඳාන පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. එස්. කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්. දිසානායක මහතා, පොලිස් සැරයන් අත්තනායක (51703) මහතා ඇතුළු පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post